මතෙව් 23:25-33

මතෙව් 23:25-33 SCV

“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා පීරිසි-කෝප්පවල පිට පැත්ත සෝදන නමුත් ඇතුළාන්තය තණ්හාවෙනුත්, ආත්මාර්ථයෙනුත් පිරිලා. අන්ධ පරිසිවරය, පළමු ව පීරිසියේත්, කෝප්පයේත් ඇතුළු පැත්ත පවිත්‍ර කරන්න. එවිට පිට පැත්ත ද පවිත්‍ර වේ. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා සුදු හුණු ගෑ සොහොන් කොත් වගේ ය. පිටතින් ඒවා අලංකාරයට පෙනේ. එහෙත් ඒවායේ ඇතුළත ඇත්තේ, මළ මිනිසුන්ගේ ඇටකටු හා සකල අපවිත්‍ර දෑ ය. නුඹලාත් එලෙස මිනිසුන් හමුවේ පිටත පෙනුමින් ධර්මිෂ්ඨයින් ය; එහෙත් නුඹලාගේ ඇතුළාන්තය කුහකකමින් හා නොපණත්කමින් පිරිලා ය. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා දිවැසිවරුන්ගේ සොහොන් කොත් ගොඩ නගා, ධර්මිෂ්ඨයින්ගේ මිනීවළවල් සරසා, ‘අපේ පියවරුන්ගේ කාලයේ අප සිටියා නම්, දිවැසිවරුන්ගේ ලේ හැලුමට අප ඔවුන් හා සම්බන්ධ නො වන්නෙමු’ යි කියති. මෙසේ ඒ දිවැසිවරුන් මැරූ මිනී මරුවන්ගෙන් පැවත එන්නෝ නුඹලා ම බැව් එයින් සාක්ෂි දරති. නුඹලාගේ පියවරුන්ගේ පාප මිම්මේ අඩුව සම්පූර්ණ කරනු! “සර්පයිනි! පොළොං පැටවුනි! නිරයට හෙළනු ලැබීමේ දඬුවමින් නුඹලා ගැලවෙන්නේ කෙසේ ද?