මතෙව් 23:13-39
මතෙව් 23:13-39 SCV
“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයිනි, නුඹලාට වන විපතක මහත! නුඹලා මිනිසුන්ගේ මුහුණට ම ස්වර්ග රාජ්‍යයේ දොරටු වසා දමති. නුඹලා ඇතුළු වන්නේ නැත; ඇතුළු වන්නට යන අයට ඉඩ දෙන්නේ ද නැත. දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! වැන්දඹුවන්ගේ ගෙවල් කා දමන නුඹලා, දීර්ඝ ව්‍යාජ යාච්ඤා පවසති. එබැවින් නුඹලාට ලැබෙන දඬුවම වඩාත් බරපතළ ය. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! එක් කෙනකු හරවා ගන්නට නුඹලා මුහුද හා ගොඩ බිම හරහා සැරි සරති. එසේ හරවා ගත් පසු, නුඹලා මෙන් දෙගුණයක නිරයේ පුතකු බවට නුඹලා ඔහු පත් කරති. “මග පෙන්වන අන්ධයිනි, නුඹලාට වන විපතක මහත! ‘යමෙක්, දේව මාලිගය-පල්ල කියා දිවුළහොත්, එය ගණන් නො ගැනේ’ කියා ද එහෙත්, ‘දේව මාලිගයේ රත්රන්-පල්ල කියා දිවුළහොත් ඒ දිවිරීමෙන් ඔහු බැඳේ ය’ කියා ද නුඹලා කියති. අන්ධ මෝඩයිනි, වඩා උතුම් කොයික ද? රත්රන් ද? රත්රන් විශුද්ධ කරන දේව මාලිගය ද? ‘යමෙක්, පූජාසනය-පල්ල කියා දිවුළහොත්, එය ගණන් නො ගැනේ යයි ද එහෙත්, පූජාසනය මත වූ පඬුර-පල්ල කියා දිවුළහොත්, ඒ දිවිරීමෙන් ඔහු බැඳෙතැ’ යි ද නුඹලා කියති. අන්ධ මිනිසුනි, වඩා උතුම් කොයික ද? පඬුර ද? පඬුර විශුද්ධ කරන පූජාසනය ද? එනිසා, පූජාසනය ගැන දිවුරන්නා පූජාසනයත්, ඒ මත ඇති හැම දේ ගැනත් දිවුරයි. එසේ ම, දේව මාලිගය ගැන දිවුරන්නා දේව මාලිගයත්, එහි සිටින තැනැන්වහන්සේ ගැනත් දිවුරයි. තවද ස්වර්ගය ගැන දිවුරන්නා, දෙවියන්වහන්සේගේ සිංහාසනයත්, සිංහාසනයේ හිඳිනා තැනැන්වහන්සේ ගැනත් දිවුරයි. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා සුවඳතලා, සුදුදුරු හා කළුදුරුවලින් දසයෙන් කොටස දෙති. එහෙත් යුක්තිය, දයාව හා විශ්වාසවන්තකම යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කරුණු නුඹලා පැහැර හරිති. පළමු කී දෑ පැහැර නො හැර මේ දෙවනුව කී දෑත් ඔබ පිළිපැදිය යුතු ව තිබේ. මග පෙන්වන අන්ධයිනි, නුඹලා කෝඳුරුවා පෙරා හැර, ඔටුවා ගිල දමති. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා පීරිසි-කෝප්පවල පිට පැත්ත සෝදන නමුත් ඇතුළාන්තය තණ්හාවෙනුත්, ආත්මාර්ථයෙනුත් පිරිලා. අන්ධ පරිසිවරය, පළමු ව පීරිසියේත්, කෝප්පයේත් ඇතුළු පැත්ත පවිත්‍ර කරන්න. එවිට පිට පැත්ත ද පවිත්‍ර වේ. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා සුදු හුණු ගෑ සොහොන් කොත් වගේ ය. පිටතින් ඒවා අලංකාරයට පෙනේ. එහෙත් ඒවායේ ඇතුළත ඇත්තේ, මළ මිනිසුන්ගේ ඇටකටු හා සකල අපවිත්‍ර දෑ ය. නුඹලාත් එලෙස මිනිසුන් හමුවේ පිටත පෙනුමින් ධර්මිෂ්ඨයින් ය; එහෙත් නුඹලාගේ ඇතුළාන්තය කුහකකමින් හා නොපණත්කමින් පිරිලා ය. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා දිවැසිවරුන්ගේ සොහොන් කොත් ගොඩ නගා, ධර්මිෂ්ඨයින්ගේ මිනීවළවල් සරසා, ‘අපේ පියවරුන්ගේ කාලයේ අප සිටියා නම්, දිවැසිවරුන්ගේ ලේ හැලුමට අප ඔවුන් හා සම්බන්ධ නො වන්නෙමු’ යි කියති. මෙසේ ඒ දිවැසිවරුන් මැරූ මිනී මරුවන්ගෙන් පැවත එන්නෝ නුඹලා ම බැව් එයින් සාක්ෂි දරති. නුඹලාගේ පියවරුන්ගේ පාප මිම්මේ අඩුව සම්පූර්ණ කරනු! “සර්පයිනි! පොළොං පැටවුනි! නිරයට හෙළනු ලැබීමේ දඬුවමින් නුඹලා ගැලවෙන්නේ කෙසේ ද? එබැවින් මෙන්න මම දිවැසිවරුන් ද නැණවතුන් ද ගුරුවරුන් ද නුඹලා වෙත එවමි. නුඹලා ඔවුන්ගෙන් ඇතමකු මරා දමනු ඇත; ඇතමකු කුරුසිපත් කරනු ඇත. සෙසු අයට නුඹලාගේ සිනගෝගවලදී තළා, නගරයෙන් නගරයට ඔවුන් ලුහුබඳිනු ඇත. මෙසේ, ධර්මිෂ්ඨ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත්, පූජාසනයටත්, අතරදී නුඹලා විසින් මරා දමන ලද බරාකියාගේ පුත් සෙකරියාගේ ලේ දක්වා, පොළෝ තලය මත මරා දමන ලද සියලු ධර්මිෂ්ඨයින්ගේ ලේවල වරද නුඹලා පිටට එනු ඇත. සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දෙයක් ම මේ පරම්පරාව පිටට ම පැමිණෙනු ඇත කියායි. “අහෝ! යෙරුසලම, යෙරුසලම, දිවැසිවරුන් මරා දමන්නා වූ, නුඹ වෙත එවනු ලැබූවන්ට ගල් ගසන්නා වූ නුඹ, කිකිළියක ඇගේ පැටවුන් ඇගේ පියාපත් යටට එකතු කර ගන්නා සේ, නුඹේ දරු කැල එකතු කරන්නට මම කී වරක් නම් ආශා වූවෙම් ද? එහෙත් ඔබ කැමති වුණේ නැත. මෙන්න! ඔබේ නිවාසය පාළුවට හැර දමලා. මා ඔබට කියන්නේ, ‘ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!’ කියා ඔබ කියන තුරු, යළි ඔබ මා දකින්නේ නැත.”

