මතෙව් 23:1-26

මතෙව් 23:1-26 SCV

ඉන්පසු යේසුස්වහන්සේ ජන සමූහයාටත්, තම ගෝලයින්ටත් මෙසේ පැවසූ සේක: “දහම් පඬිවරු හා පරිසිවරු මෝසෙස්ගේ ආසනයේ හිඳ ගනිති. එබැවින් ඔවුන් ඔබට කියන සියලු දෑ කරන්න; පිළිපදින්න; එහෙත් ඔවුන් කරන දේ නො කරන්න. මන්ද තමන් දේශනා කරන දේ ඔවුන් පිළිපදින්නේ නැත. ඔවුහු දරන්නට බැරි, මහ බර පොදි බැඳ, ඒවා මිනිසුන්ගේ කර පිට පටවති; එහෙත් ඒවා අහක් කිරීමට ඇඟිල්ලකින්වත් සහාය නො දෙති. “කරන හැම දෙයක් ම ඔවුන් කරන්නේ, අන්‍යයනට පෙනෙන පිණිස ය: ඔවුහු තම පිලක්තාරි පළල් කර ගනිමින්, තම වස්ත්‍ර-දාවලු මහත් කර ගනිති. ඔවුහු මංගල සාදයන්හි දී ගෞරවනීය ස්ථාන දැරීමටත්, සිනගෝගවල විශේෂ ආසන දැරීමටත් ආශා කරති; ඔවුහු ප්‍රසිද්ධ ස්ථානවලදී ගරු බුහුමන් ලැබීමටත්, මිනිසුන්ගෙන් ‘රබ්බී’ කියා අමතා ගැනීමටත් ආශා කරති. “එහෙත් ඔබ, අනුන් ලවා රබ්බී කියා අමතා ගත යුතු නැත. මන්ද ඔබට සිටින්නේ එක ගුරුවරයෙකි. ඔබ හැම සහෝදරයින් ය. මිහි පිට කිසිවකුට ඔබේ පියාණන්යැයි නො කියන්න. මන්ද ස්වර්ගයේ වෙසෙන එක පියාණන් කෙනකු ඔබට සිටී. උපදේශකයෙකැයි ඔබ අමතා නො ගත යුතු ය. මන්ද ඔබට උපදේශක එක් කෙනෙකි; ඒ ක්‍රිස්තුස්වහන්සේ ය. ඔබ අතරේ ශ්‍රේෂ්ඨතමයා, ඔබගේ සේවකයා වනු ඇත. මන්ද තමා ම උසස් කර ගන්නා, පහත් කරනු ලැබේ. තමා ම පහත් කර ගන්නා, උසස් කරනු ලැබේ. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයිනි, නුඹලාට වන විපතක මහත! නුඹලා මිනිසුන්ගේ මුහුණට ම ස්වර්ග රාජ්‍යයේ දොරටු වසා දමති. නුඹලා ඇතුළු වන්නේ නැත; ඇතුළු වන්නට යන අයට ඉඩ දෙන්නේ ද නැත. දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! වැන්දඹුවන්ගේ ගෙවල් කා දමන නුඹලා, දීර්ඝ ව්‍යාජ යාච්ඤා පවසති. එබැවින් නුඹලාට ලැබෙන දඬුවම වඩාත් බරපතළ ය. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! එක් කෙනකු හරවා ගන්නට නුඹලා මුහුද හා ගොඩ බිම හරහා සැරි සරති. එසේ හරවා ගත් පසු, නුඹලා මෙන් දෙගුණයක නිරයේ පුතකු බවට නුඹලා ඔහු පත් කරති. “මග පෙන්වන අන්ධයිනි, නුඹලාට වන විපතක මහත! ‘යමෙක්, දේව මාලිගය-පල්ල කියා දිවුළහොත්, එය ගණන් නො ගැනේ’ කියා ද එහෙත්, ‘දේව මාලිගයේ රත්රන්-පල්ල කියා දිවුළහොත් ඒ දිවිරීමෙන් ඔහු බැඳේ ය’ කියා ද නුඹලා කියති. අන්ධ මෝඩයිනි, වඩා උතුම් කොයික ද? රත්රන් ද? රත්රන් විශුද්ධ කරන දේව මාලිගය ද? ‘යමෙක්, පූජාසනය-පල්ල කියා දිවුළහොත්, එය ගණන් නො ගැනේ යයි ද එහෙත්, පූජාසනය මත වූ පඬුර-පල්ල කියා දිවුළහොත්, ඒ දිවිරීමෙන් ඔහු බැඳෙතැ’ යි ද නුඹලා කියති. අන්ධ මිනිසුනි, වඩා උතුම් කොයික ද? පඬුර ද? පඬුර විශුද්ධ කරන පූජාසනය ද? එනිසා, පූජාසනය ගැන දිවුරන්නා පූජාසනයත්, ඒ මත ඇති හැම දේ ගැනත් දිවුරයි. එසේ ම, දේව මාලිගය ගැන දිවුරන්නා දේව මාලිගයත්, එහි සිටින තැනැන්වහන්සේ ගැනත් දිවුරයි. තවද ස්වර්ගය ගැන දිවුරන්නා, දෙවියන්වහන්සේගේ සිංහාසනයත්, සිංහාසනයේ හිඳිනා තැනැන්වහන්සේ ගැනත් දිවුරයි. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා සුවඳතලා, සුදුදුරු හා කළුදුරුවලින් දසයෙන් කොටස දෙති. එහෙත් යුක්තිය, දයාව හා විශ්වාසවන්තකම යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කරුණු නුඹලා පැහැර හරිති. පළමු කී දෑ පැහැර නො හැර මේ දෙවනුව කී දෑත් ඔබ පිළිපැදිය යුතු ව තිබේ. මග පෙන්වන අන්ධයිනි, නුඹලා කෝඳුරුවා පෙරා හැර, ඔටුවා ගිල දමති. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා පීරිසි-කෝප්පවල පිට පැත්ත සෝදන නමුත් ඇතුළාන්තය තණ්හාවෙනුත්, ආත්මාර්ථයෙනුත් පිරිලා. අන්ධ පරිසිවරය, පළමු ව පීරිසියේත්, කෝප්පයේත් ඇතුළු පැත්ත පවිත්‍ර කරන්න. එවිට පිට පැත්ත ද පවිත්‍ර වේ.

මෙයට අදාළ වීඩියෝ

මතෙව් 23:1-26 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය