මතෙව් 23:1-12

මතෙව් 23:1-12 SCV

ඉන්පසු යේසුස්වහන්සේ ජන සමූහයාටත්, තම ගෝලයින්ටත් මෙසේ පැවසූ සේක: “දහම් පඬිවරු හා පරිසිවරු මෝසෙස්ගේ ආසනයේ හිඳ ගනිති. එබැවින් ඔවුන් ඔබට කියන සියලු දෑ කරන්න; පිළිපදින්න; එහෙත් ඔවුන් කරන දේ නො කරන්න. මන්ද තමන් දේශනා කරන දේ ඔවුන් පිළිපදින්නේ නැත. ඔවුහු දරන්නට බැරි, මහ බර පොදි බැඳ, ඒවා මිනිසුන්ගේ කර පිට පටවති; එහෙත් ඒවා අහක් කිරීමට ඇඟිල්ලකින්වත් සහාය නො දෙති. “කරන හැම දෙයක් ම ඔවුන් කරන්නේ, අන්‍යයනට පෙනෙන පිණිස ය: ඔවුහු තම පිලක්තාරි පළල් කර ගනිමින්, තම වස්ත්‍ර-දාවලු මහත් කර ගනිති. ඔවුහු මංගල සාදයන්හි දී ගෞරවනීය ස්ථාන දැරීමටත්, සිනගෝගවල විශේෂ ආසන දැරීමටත් ආශා කරති; ඔවුහු ප්‍රසිද්ධ ස්ථානවලදී ගරු බුහුමන් ලැබීමටත්, මිනිසුන්ගෙන් ‘රබ්බී’ කියා අමතා ගැනීමටත් ආශා කරති. “එහෙත් ඔබ, අනුන් ලවා රබ්බී කියා අමතා ගත යුතු නැත. මන්ද ඔබට සිටින්නේ එක ගුරුවරයෙකි. ඔබ හැම සහෝදරයින් ය. මිහි පිට කිසිවකුට ඔබේ පියාණන්යැයි නො කියන්න. මන්ද ස්වර්ගයේ වෙසෙන එක පියාණන් කෙනකු ඔබට සිටී. උපදේශකයෙකැයි ඔබ අමතා නො ගත යුතු ය. මන්ද ඔබට උපදේශක එක් කෙනෙකි; ඒ ක්‍රිස්තුස්වහන්සේ ය. ඔබ අතරේ ශ්‍රේෂ්ඨතමයා, ඔබගේ සේවකයා වනු ඇත. මන්ද තමා ම උසස් කර ගන්නා, පහත් කරනු ලැබේ. තමා ම පහත් කර ගන්නා, උසස් කරනු ලැබේ.

මෙයට අදාළ වීඩියෝ

මතෙව් 23:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය