මතෙව් 22:27-40

මතෙව් 22:27-40 SCV

මේ හැමට පසුව ඒ ස්ත්‍රිය ද මිය ගියා. මරණින් නැවත නැගිටීමේදී ඈ මේ හත්දෙනාගෙන් කාගේ භාර්යාව වන්නී ද? මන්ද ඒ සැවොම ඇය විවාහ කර ගත් බැවිනැ” යි කීහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ වරද්දාගෙන ඇත්තේ, ශුද්ධ ලියවිලිවත්, දෙවියන්වහන්සේගේ බලයවත් නො දන්නා නිසයි. මළවුන් නැවත නැගිටින කල, ඔවුන් ආවාහ කර ගන්නේවත්, විවාහ කර දෙන්නේවත් නැත. ඔවුන් ස්වර්ගයේ දේව දූතයින් හා සමාන වේ. මළවුන් නැවත නැගිටීම ගැන දෙවියන්වහන්සේ ඔබට පැවසූ දෑ ඔබ කියවා නැද්ද? එනම්, ‘මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන්වහන්සේ ය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ ය.’ උන්වහන්සේ මළවුන්ගේ නො ව, ජීවතුන්ගේ දෙවියන්වහන්සේ යැ” යි පැවසූ සේක. ජන සමූහයා ඒ ඇසූ කල, උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූහ. යේසුස්වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ වග ඇසූ පරිසිවරු එක් රැස් වූහ. නීති වේදියකු වූ ඔවුන්ගෙන් කෙනෙක් උන්වහන්සේ පරීක්ෂා කරමින්, ප්‍රශ්න කරන්නේ: “ගුරුතුමනි, ව්‍යවස්ථාවෙහි ශ්‍රේෂ්ඨතම ආඥාව කවර එක දැ?” යි ඇසී ය. උන්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු බුද්ධියෙන් ද ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරනු’ මූලිකවූත්, ශ්‍රේෂ්ඨ වූත් ආඥාව එයයි. දෙවැන්න ඊට සමානයි: එනම්, ‘ඔබට ප්‍රේම කරන්නා සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යන්න ය. සමස්ත ව්‍යවස්ථාවත්, දිවැසි වැකිත් රඳා පවත්නේ මෙම ආඥා දෙක මත යැ” යි පැවසූ සේක.