මතෙව් 21:28-44

මතෙව් 21:28-44 SCV

“ඔබ සිතන්නේ කුමක් ද? එක් මිනිසකුට පුතුන් දෙදෙනකු සිටියා. ඔහු පළමු වැන්නා වෙත ගොස්, ‘පුත, ගොස් අද මිදි වත්තේ වැඩ කරන්නැ’ යි කීවා. “ඔහු පිළිතුරු දෙමින්, ‘මට බැරි යැ’ යි කී නමුත්, පසුව ඔහු සිත වෙනස් කර ගෙන, එහි ගියා. “පියා අනෙක් පුතු වෙත ගොස් ඒ දේ ම කීවා. ‘හොඳමයි මම යන්නම් ස්වාමිනි’ යි කීවත්, ඔහු ගියේ නැහැ. “තම පියාගේ කැමැත්ත ඉටු කළේ මේ දෙදෙනාගෙන් කවරෙක් දැ?” යි ඇසූ සේක. “පළමු වැන්නා” යි ඔවුහු පිළිතුරු දුන්හ. යේසුස්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, අයබදුකරුවන් හා වෙසඟනන් ඔබට පළමුවෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන බවයි. මන්ද යොහන් ධර්මිෂ්ඨකමේ මාවත පෙන්වමින් ඔබ වෙත ආයේ ය. ඔබ, ඔහු විශ්වාස කළේ නැත. එහෙත් අයබදුකරුවෝ හා වෙසඟනෝ ඔහු විශ්වාස කළහ. එය දුටු පසු වුව ද සිත වෙනස් කර ගෙන, ඔබ ඔහු විශ්වාස කළේ නැත. “තවත් උපමාවකට සවන් දෙන්න: ඉඩම් හිමියෙක් සිටියේ ය. ඔහු මිදි වත්තක් වවා, වත්ත වටා තාප්පයක් බැඳ, මිදි මඩින මෝලක් එහි කැණ, මුර ටැඹක් ද ගොඩ නැගී ය. පසුව මිදි වත්ත ගොවීනට බදු දී, පිට රටකට ගියේ ය. පල නෙළන කාලය උදා වූ කල, තම කොටස ලබන පිණිස, ඔහු බදුකරුවන් වෙත තම සේවකයින් යැවී ය. “බදුකරුවෝ ඔහුගේ සේවකයන් අල්ලා, එකකුට තැලූහ; තවකකු මැරූහ; අනෙකාට ගල් ගැසූහ. එවිට ඔහු පළමු වතාවට වඩා වැඩි සේවක පිරිසක් යැවී ය. ඔවුහු ඔවුනටත් ඒ දේ ම කළහ. අන්තිමට ඔහු තම පුත්‍රයා ඔවුන් වෙත යැවී ය. ‘ඔවුන් මගේ පුත්‍රයාට ගරු කරනු ඇතැ’ යි කීවේ ය. “එහෙත් බදුකරුවෝ ඔහුගේ පුත්‍රයා දුටු කල, ‘මෙන්න උරුමක්කාරයා! එමු; ඔහු මරා, ඔහුගේ උරුමය ගනිමු’ යි එකිනෙකාට පැවසූහ. මෙසේ ඔවුහු, ඔහු අල්ලා, මිදි වත්තෙන් පිටත හෙළා, ඔහු මරා දැමූහ. “එබැවින්, මිදි වතු හිමියා ආ කල, ඒ බදුකරුවනට කුමක් කරනු ඇද්දැ?” යි ඇසූ සේක. ඔවුහු පිළිතුරු දෙමින්, “ඔහු එම අධමයින් කාලකණ්ණි මරණයකට පත් කරනු ඇත. තවද නිසි වාරයට තම පලදාව තමාට දෙන වෙනත් බදුකරුවනට ඔහු ඒ මිදි වත්ත බාර දෙනු ඇතැ” යි කීහ. එවිට ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ ‘ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් ව ඇත; මෙය ස්වාමින්වහන්සේ ම කළ දෙයකි, අපගේ ඇස්වලට එය ආශ්චර්යයකි’ යන ශුද්ධ ලියවිලි පාඨය ඔබ කෙදිනකවත් කියවා නැද්ද? “එබැවින් මම ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබගෙන් ඉවතට ගෙන, එහි පල උපද්දන වෙනත් ජනතාවකට දෙනු ලබන්නේ ය. මේ ගල පිට වැටෙන්නා, කැබලිවලට කඩා දමනු ලැබේ; ඒ ගල යමකු පිට වැටුණ කල, එය ඔහු සුනු විසුනු කරනු ලැබේ යැ” යි පැවසූ සේක.