මතෙව් 21:1-22

මතෙව් 21:1-22 SCV

ඔවුන් යෙරුසලමට ළඟා වෙමින්, ඔලීව කන්දේ පිහිටි බෙත්පාගයට ළඟා වූ කල, යේසුස්වහන්සේ ගෝලයන් දෙදෙනකු පිටත් කරමින්, ඔවුන් අමතා, “ඔබට ඉදිරියෙන් ඇති ගමට යන්න, එකෙණෙහි බූරු දෙනක ද ඌ සමඟ බූරු වස්සකු බැඳ සිටිනු ඔබට දකින්නට ලැබෙයි. උන් ලිහා මා වෙත ගෙනෙන්න. කිසිවකු ඔබට කිසිවක් කීවොත්, ‘ස්වාමින්වහන්සේට උන් වුවමනා වී ඇතැ’ යි කියන්න. එවිට ඔහු එවෙලේම උන් එවනු ඇතැ” යි කී සේක. මෙය සිදු වූයේ දිවැසිවරයා මගින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය: “ ‘මෙන්න, ඔබේ රජ නිහතමානී ව, බූරුවකු පිට නැගී, බූරු වස්සකු පිට ඔබ වෙත එතැ’ යි සියොන් දියණියට කියන්න” යනුයි. ගෝලයෝ පිටත් ව ගොස්, ඔවුනට යේසුස්වහන්සේ කියා දුන් පරිදි කළහ. ඔවුහු බූරු දෙන හා වස්සා ගෙන අවුත්, තමන්ගේ උඩු කබා උන් පිට අතුළහ. උන්වහන්සේ ඒ පිට හිඳගත් සේක. අති මහත් ජනකායක් තම උඩු කබා මහ මග අතුළහ. සෙස්සෝ ගස්වල අතු කපා, ඒවා මග දිගේ අතුළහ. උන්වහන්සේට පෙරටුව හා උන්වහන්සේට පිටුපසින් ගමන් ගත් ජනතාවෝ, “දාවිත්ගේ පුතණුවන්ට හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “උසස් තැන්හි හෝසන්නා!” යි මහ හඬ නැගුවෝ ය. උන්වහන්සේ යෙරුසලමට ඇතුල් වූ කල, මුළු මහත් පුරවරය ම කැලඹී, “මේ කවුරු දැ?” යි විමසූහ. “උන්වහන්සේ ගලීලයේ නාසරෙත්හි දිවැසිවර යේසුස්වහන්සේ යැ” යි ජනයා කීහ. දේව මාලිගයට ඇතුළු වූ යේසුස්වහන්සේ, මාලිගය තුළ විකුණමින් ද මිලට ගනිමින් ද සිටි සියල්ලන් පලවා හැරිය සේක. මුදල් මාරුකරන්නන්ගේ මේස ද පරෙවි වෙළඳුන්ගේ ආසන ද පෙරළා දැමූ උන්වහන්සේ, ඔවුන් අමතමින්, “ලියා ඇත්තේ, ‘මගේ ගෘහය යාච්ඤාවේ ගෘහයකි’ කියා ය. එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ කරති” යි කී සේක. අන්ධයෝ ද කොරු ද දේව මාලිගයෙහි උන්වහන්සේ වෙත ආහ. උන්වහන්සේ ඔවුන් සුව කළ සේක. එහෙත් නායක පූජකයෝ හා දහම් පඬිවරු, උන්වහන්සේ කළ අරුම පුදුම හා “දාවිත්ගේ පුත්‍රයාණන්ට හෝසන්නා!” කියමින් දේව මාලිගය තුළ දරුවන්ගේ මොරගෑම දැක, කුපිත වූහ. “මොවුන් කියන දේ ඔබට ඇහෙනවා දැ?” යි ඔවුහු උන්වහන්සේගෙන් ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔව්, මට ඇසේ, “ ‘ළදරුවන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින් ඔබ ප්‍රශංසාව සලසා ඇත’ යන්න කිසි කලෙක ඔබ කියවා නැද්දැ?” යි කී සේක. ඉන්පසු උන්වහන්සේ ඔවුන්ගෙන් බැහැර ව, පුරවරයෙන් නික්ම, බෙතානිය වෙත පැමිණ, රාත්‍රිය එහි ගත කළ සේක. උදයේ ආපසු පුරවරයට එද්දී උන්වහන්සේට කුස ගිනි දැනිණි. මග අසල වූ අත්තික්කා ගහක් දුටු උන්වහන්සේ එතැනට ගිය නමුදු, එහි කොළ මිස, අන් කිසිවක් නො වී ය. එවිට උන්වහන්සේ, “යළි කිසි දින පල දැරීමක් නුඹට නො වෙත්වා!” යි ඒ ගසට කී සේක. එකෙණෙහි ම ඒ ගස වියළී ගියේ ය. ඒ දුටු ගෝලයෝ ඉන් විස්මිත ව, “එකපාරට මේ අත්තික්කා ගහ වියළුණේ කෙසේ දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබට ඇදහිල්ල ඇත්නම්, සැක නො කරන්නේ නම්, ඔබට කළ හැකි වන්නේ, මේ අත්තික්කා ගහට කළ දේ පමණක් නො වේ. මේ කන්දට කතා කොට, ‘ඉදිරී ගොස්, මුහුදේ වැටෙනු’ යි කීව ද එය සිදු වනු ඇත. ඇදහිල්ල ඇතුව, යාච්ඤාවෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුව ඔබට ලැබෙනු ඇතැ” යි පැවසූ සේක.

මතෙව් 21:1-22 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය