මතෙව් 20:1-19

මතෙව් 20:1-19 SCV

“මන්ද ස්වර්ග රාජ්‍යය, තම මිදි වත්තේ වැඩට කම්කරුවන් කුලියට ගැනීමට අරුණ උදෙන් ම පිටත් වූ ඉඩම් හිමියකුට සමාන ය. කම්කරුවනට දිනකට ඩිනාරිය බැගින් දීමට එකඟ ව ඔහු ඔවුන් තම මිදි වත්තට යැවී ය. “තුන් වන පැයේ පමණ පිටතට ගිය ඔහු වැඩක් නැතිව කඩ-මණ්ඩියේ සිටගෙන සිටි තවත් අය දැක, ඔවුන් අමතා, ‘ඔබත් මිදි වත්තට යන්න. යුතු පරිදි මම ඔබට ගෙවන්නෙමි’ යි කීවේ ය. එවිට ඔවුහු ද එහි ගියහ. “යළි හය වන පැයේ හා නව වන පැයේ පමණ ද පිටතට ගිය ඔහු එසේ ම කළේ ය. එකොළොස් වන පැයේ පමණ ද පිටතට ගිය ඔහු තවත් නිකරුණේ සිටගෙන සිටියවුන් දැක, ‘වැඩක් නැතිව දවස තිස්සේ මෙතැන හිටගෙන ඉන්නේ ඇයි දැ?’ යි ඔවුන්ගෙන් ඇසී ය. “ ‘කිසිවකු අප වැඩට නො ගත් නිසා යැ’ යි ඔවුහු කීහ. “ ‘ඔබත් මිදි වත්තට යන්නැ’ යි ඔහු ඔවුනට පැවසී ය. “සවස් වූ කල තම කළමනාකරු ඇමතූ ඉඩම් හිමියා, ‘කම්කරුවන් කැඳවා, අන්තිමට ආ අයගෙන් පටන් ගෙන මුලින් ආ අය දක්වා ඔවුන්ගේ පඩිය ගෙවන්නැ’ යි කීවේ ය. “අවසන් පැයේදී වැඩට ගනු ලැබූ කම්කරුවෝ අවුත්, එක් කෙනකු ඩිනාරිය බැගින් ලදහ. මුලින් ම වැඩට ගනු ලැබූවෝ පැමිණ, තමනට වැඩියෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වූහ. එහෙත්, ඒ හැමට ලැබුණේ ද එක් කෙනකුට ඩිනාරිය බැගිනි. එය ලබා ගත් ඔවුහු ඉඩම් හිමියාට එරෙහිව මැසිවිලි නගන්නට වී, ‘අන්තිමට වැඩට ආ මේ මිනිසුන් වැඩ කළේ එක පැයක් පමණයි. එහෙත් දවසේ බර උසුලමින්, අධි උෂ්ණයත් දැරූ අපට ඔබ ඔවුන් සමාන කර ඇතැ’ යි කීහ. “එවිට ඔහු ඔවුන්ගෙන් කෙනකුට පිළිතුරු දෙමින්, ‘මිත්‍රය, මා ඔබට අසාධාරණයක් කරනවා නො වේ. ඩිනාරියකට වැඩ කරන්නට ඔබ එකඟ වූවා නො වේ ද? ඔබට හිමි දේ අරගෙන යන්න. ඔබට දුන් ලෙස ම අන්තිමට වැඩට ගත් මේ අයටත් ගෙවීම මගේ කැමැත්තයි. මට හිමි දෙයින් මා කැමති දෙයක් කරන්නට මට අයිතිය නැද්ද? නැතහොත් මගේ ත්‍යාගශීලීත්වය ගැන ඔබ ඊර්ෂ්‍යා කරනවා දැ?’ යි ඇසී ය. “මෙසේ අන්තිමයින් ප්‍රථමයින් ද ප්‍රථමයින් අන්තිමයින් ද වනු ඇතැ” යි පැවසූ සේක. යෙරුසලම බලා ගමන් ගන්නා අතරේ යේසුස්වහන්සේ ගෝලයින් දොළොස් දෙනා පසෙකට කැඳවා, මඟදී ඔවුන් අමතමින්, “ඔන්න, අප දැන් යන්නේ යෙරුසලමටයි. එහිදී මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතට පාවා දෙනු ලබනු ඇත. ඔවුහු උන්වහන්සේ මරණයට තීන්දු කර, ඉන්පසු සරදම් කරන්නට, කස පහර දී කුරුසිපත් කරන්නට විදේශීන් අතට එතුමාණන් පාවා දෙනු ඇත. තුන් වන දවසේ උන්වහන්සේ යළි නැගිටුවනු ලබන සේකැ” යි පැවසූ සේක.

මෙයට අදාළ වීඩියෝ

මතෙව් 20:1-19 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය