මතෙව් 19:16-24

මතෙව් 19:16-24 SCV

එවිට මෙන්න! යේසුස්වහන්සේ වෙත පැමිණි එක් මිනිසෙක්, “ගුරුතුමනි, සදාතන ජීවනය ලබා ගනු පිණිස මා කවර යහපතක් කළ යුතු දැ?” යි ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යහපත කවරේදැයි මගෙන් අහන්නේ ඇයි? යහපත් ව සිටින්නේ එක් තැනැත්තාණන් කෙනකු පමණි. ජීවනයට ඇතුළු වීමට වුවමනා නම්, ආඥා පිළිපදින්නැ” යි කී සේක. “කවර ඒවා දැ?” යි ඔහු ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘මිනී නො මරනු, පරදාර සේවනය නො කරනු, සොරකම් නො කරනු, බොරු සාක්ෂි නො දෙනු, ඔබේ පියාට හා මවට ගරු කරන්න, ඔබට මෙන් ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යන වශයෙනි” යි පැවසූ සේක. “ඒ සියල්ල මම පිළිපැද ඇත්තෙමි” යි පැවසූ තරුණයා, “මට තව අඩු කුමක් දැ?” යි ඇසී ය. යේසුස්වහන්සේ ඔහු අමතමින්, “සම්පූර්ණ වීමට ඔබට ඕනෑ නම්, ගොස්, ඔබ සතු දෑ විකුණා දිළිඳුන්ට දෙන්න. ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත. ඉන්පසු අවුත්, මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක. ඒ ඇසූ තරුණයා සොවට පත් ව, ඉවත් ව ගියේ ය. මන්ද ඔහු මහ ධනයක් හිමි ව සිටියේ ය. එවිට යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, ධනවතකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළු විය හැක්කේ, මහත් අසීරුවෙන් පමණක් බවයි. නැවතත් මා ඔබට කියන්නේ, ධනවතකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා, ඔටුවකුට ඉඳිකටු සිදුරින් රිංගා යෑම පහසු යැ” යි පැවසූ සේක.