මේ දෑ කියා නිම වූ පසු යේසුස්වහන්සේ ගලීලයෙන් නික්ම, යොර්දානයෙන් එතෙර යුදය පළාතට පැමිණි සේක. මහ ජනකායක් උන්වහන්සේ පස්සේ ගියහ. උන්වහන්සේ එහිදී ඔවුන් සුව කළ සේක.
පරිසිවරු පැමිණ, උන්වහන්සේ පරීක්ෂා කරමින්, “කවර හේතුවක් නිසාවත්, මිනිසකු සිය භාර්යාව දික්කසාද කිරීම නිත්‍යානුකූල දැ?” යි ඇසූහ.
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔවුන් මැවූ තැනැන්වහන්සේ, පටන් ගැන්මේදී පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් ඔවුන් සෑදූ වග ඔබ කියවා නැද්ද? උන්වහන්සේ කීවේ, ‘එබැවින් මිනිසෙක් තම පියා හා මව අතහැර තම භාර්යාවට බැඳෙයි’ කියායි. මෙසේ ඔවුන් දෙදෙනා එක මාංසයක් බවට පත් වන බැවින්, තවදුරටත් ඔවුහු දෙදෙනකු නො ව එක මාංසයක් වෙති. එබැවින් දෙවියන්වහන්සේ එකට එක් කළ දේ, මිනිසා විසින් වෙන් කරනු නො ලබත්වා!” යි පැවසූ සේක.
“එසේ නම්, තම භාර්යාවට දික්කසාද සහතිකයක් දී, ඇය පිටත් කර යැවීමට මෝසෙස් නියෝග කළේ මන්දැ?” යි ඔවුහු ඇසූහ.
යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට මෝසෙස් ඔබට අවසර දුන්නේ, ඔබගේ හදවත්වල දැඩිකම නිසයි. එහෙත් පටන් ගැන්මේ සිට වූයේ එලෙස නො වේ. මා ඔබට කියන්නේ ලිංගික අනාචාරය නිසා හැර, තම භාර්යාව අත්හැර, අන් ස්ත්‍රියක ආවාහ කර ගන්නා කවරකු වුව, පරදාර සේවනයේ යෙදෙන්නේ යැ” යි පැවසූ සේක.
එවිට උන්වහන්සේගේ ගෝලයෝ, “ස්වාමි පුරුෂයකු හා භාර්යාවක අතර තතු එසේ නම්, විවාහ නො වීම වඩා හොඳ යැ” යි උන්වහන්සේට කීහ.
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “එය දෙන ලද අයට හැර, හැම කෙනකුට ම එය පිළිගත හැකි කීමක් නො වේ. මන්ද උපතින් ම නපුංසක වූවෝ වෙති. මිනිසුන් විසින් නපුංසක කරන ලද අය ද ස්වර්ග රාජ්‍යය උදෙසා තමන් ම නපුංසක ව සිටින අය ද වෙති. මෙය පිළිගත හැකි අය එලෙස පිළිගනිත්වා!” යි පැවසූ සේක.
එකල, ජනයා දරුවන් කැඳවාගෙන ආවේ, උන්වහන්සේ ඔවුන් පිට අත් තබා යාච්ඤා කරන පිණිස ය. එහෙත් ගෝලයෝ ජනයාට තරවටු කළහ.
එහෙත්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න; ඔවුන් වළක්වන්න එපා; මන්ද ස්වර්ග රාජ්‍යය අයිති මෙබඳු වූවන්ට යැ” යි පැවසූ යේසුස්වහන්සේ ඔවුන් පිට අත් තැබූ සේක්, එතැනින් නික්ම ගිය සේක.
එවිට මෙන්න! යේසුස්වහන්සේ වෙත පැමිණි එක් මිනිසෙක්, “ගුරුතුමනි, සදාතන ජීවනය ලබා ගනු පිණිස මා කවර යහපතක් කළ යුතු දැ?” යි ඇසී ය.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යහපත කවරේදැයි මගෙන් අහන්නේ ඇයි? යහපත් ව සිටින්නේ එක් තැනැත්තාණන් කෙනකු පමණි. ජීවනයට ඇතුළු වීමට වුවමනා නම්, ආඥා පිළිපදින්නැ” යි කී සේක.
“කවර ඒවා දැ?” යි ඔහු ඇසී ය.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘මිනී නො මරනු, පරදාර සේවනය නො කරනු, සොරකම් නො කරනු, බොරු සාක්ෂි නො දෙනු, ඔබේ පියාට හා මවට ගරු කරන්න, ඔබට මෙන් ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යන වශයෙනි” යි පැවසූ සේක.
“ඒ සියල්ල මම පිළිපැද ඇත්තෙමි” යි පැවසූ තරුණයා, “මට තව අඩු කුමක් දැ?” යි ඇසී ය.
යේසුස්වහන්සේ ඔහු අමතමින්, “සම්පූර්ණ වීමට ඔබට ඕනෑ නම්, ගොස්, ඔබ සතු දෑ විකුණා දිළිඳුන්ට දෙන්න. ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත. ඉන්පසු අවුත්, මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.
ඒ ඇසූ තරුණයා සොවට පත් ව, ඉවත් ව ගියේ ය. මන්ද ඔහු මහ ධනයක් හිමි ව සිටියේ ය.