මතෙව් 18:7-14

මතෙව් 18:7-14 SCV

පවට පොලඹවන පරීක්ෂා නිසා ලොවට දුක් පැමිණේ; මන්ද එම පරීක්ෂා පැමිණිය යුතු ව ඇත. එහෙත් යමකු මගින් ඒවා පැමිණේ ද, ඒ අයට දුක් වේ! ඔබේ අත හෝ ඔබේ පය පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා ඉවත වීසි කරන්න. අබ්බගාත ව හෝ කොර ව හෝ ජීවනයට ඇතුළු වීම, දෑත් හෝ දෙපා ඇති ව සදාතන ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය. ඔබගේ ඇස පාපයට ඔබ පොලඹවයි නම්, එය උගුලා ඉවත වීසි කරන්න. එක් ඇසක් ඇති ව ජීවනයට ඇතුල්වීම, දෑස ම ඇති ව නිරා ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය. “මේ කුඩාවුන්ගෙන් එකකු හෝ සුළු කොට නො තකන්ට වග බලා ගන්න. මා එසේ කියන්නේ, ඔවුන්ගේ දේව දූතයින් ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේගේ මුහුණ නිරතුරු දකින හෙයිනි. මන්ද මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ, නැති වූ දේ සොයන්නටත්, ගලවන්නටත් ය. “ඔබ සිතන්නේ කුමක් ද? බැටළුවන් සියයක් ඇති මිනිසකුගේ එක් බැටළුවකු මංමුළා ව ගියහොත්, ඔහු අර අනූනව දෙනා කන්දේ පිටියේ හැර, ඒ මංමුළා වූ එකා සොයා යන්නේ නැති ද? ඔහුට ඌ හමු වුණොත්, සැබවින් ම මා ඔබට කියන්නේ, මංමුළා නො වූ අර අනූනව දෙනාට ම වඩා මේ එක බැටළුවා ගැන ඔහු සතුටු වන බවයි. එසේ ම මේ කුඩාවුන්ගෙන් එකකු හෝ විනාශ වීම ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නො වේ.