මතෙව් 18:10-20

මතෙව් 18:10-20 SCV

“මේ කුඩාවුන්ගෙන් එකකු හෝ සුළු කොට නො තකන්ට වග බලා ගන්න. මා එසේ කියන්නේ, ඔවුන්ගේ දේව දූතයින් ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේගේ මුහුණ නිරතුරු දකින හෙයිනි. මන්ද මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ, නැති වූ දේ සොයන්නටත්, ගලවන්නටත් ය. “ඔබ සිතන්නේ කුමක් ද? බැටළුවන් සියයක් ඇති මිනිසකුගේ එක් බැටළුවකු මංමුළා ව ගියහොත්, ඔහු අර අනූනව දෙනා කන්දේ පිටියේ හැර, ඒ මංමුළා වූ එකා සොයා යන්නේ නැති ද? ඔහුට ඌ හමු වුණොත්, සැබවින් ම මා ඔබට කියන්නේ, මංමුළා නො වූ අර අනූනව දෙනාට ම වඩා මේ එක බැටළුවා ගැන ඔහු සතුටු වන බවයි. එසේ ම මේ කුඩාවුන්ගෙන් එකකු හෝ විනාශ වීම ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නො වේ. “ඔබේ සහෝදරයා ඔබට එරෙහිව පව් කරයි නම්, ගොස්, ඔහු හා ඔබ තනි ව සිට, ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබට සවන් දුනහොත්, ඔබ ඔබේ සහෝදරයා දිනා ගත්තා වෙයි. එහෙත් ඔහු ඔබට සවන් නො දේ නම්, ‘හැම කාරණයක් ම සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂිය මත ස්ථිර වන පිණිස,’ තව කෙනකු හෝ දෙදෙනකු කැඳවාගෙන යන්න. ඔහු ඔවුන්ට සවන් දීම ප්‍රතික්ෂේප කළොත්, එය සභාවට දන්වන්න. ඔහු සභාවට පවා සවන් දීම ප්‍රතික්ෂේප කළොත්, ඔහු විජාතිකයකු හෝ අයබදුකාරයකු සේ ගණන් ගන්න. “සැබවින් ම මම ඔබට කියන්නම්; පොළොවේදී ඔබ යමක් බඳින්නේ ද, ස්වර්ගයේදී එය බඳිනු ලැබේ; පොළොවේදී ඔබ යමක් මුදන්නේ ද, ස්වර්ගයේදී එය මුදනු ලැබේ. “යළිත් මා ඔබට කියන්නේ, පොළොවේදී ඔබ දෙදෙනකු තමන් ඉල්ලන යම් දෙයක් ගැන එක්සිත් වන්නේ නම්, ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේ ඔබට එය ඉටු කර දෙන බවයි. මන්ද දෙදෙනකු හෝ තිදෙනකු හෝ මගේ නාමයෙන් එක් රැස් වන්නේ නම්, මමත් එතැන ඔවුන් සමඟ සිටිමි” යි පැවසූ සේක.