එකල යේසුස්වහන්සේ වෙත ආ ගෝලයෝ, “ස්වර්ග රාජ්‍යයේදී වඩාත් උත්තමයා කවුරු දැ?” යි ඇසූහ.
කුඩා දරුවකු කැඳවා ගත් උන්වහන්සේ, ඔවුන් අතර ඔහු සිටුවා: “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබ හැරී, කුඩා දරුවන් මෙන් නො වුවහොත්, ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට කිසි සේත් ඔබට නො හැකි බවයි. මේ දරුවා මෙන් තමන් ම යටහත් කවරකු වුව ස්වර්ග රාජ්‍යයේදී වඩාත් ම උත්තමයා වෙයි. මගේ නාමයෙන් මෙවැනි දරුවකු පිළිගන්නා කවරකු වුව, මා පිළිගනියි.
“එහෙත් මා තුළ විශ්වාස කරන මේ කුඩාවුන්ගෙන් එකකු හෝ පාපයට පොලඹවන කවරකු වුව, ඔහුගේ ගෙල වටා ලොකු ඇඹරුම් ගලක් එල්ලා, ගැඹුරු මුහුදේ ගිල්වීම ඔහුට වඩා හොඳ ය. පවට පොලඹවන පරීක්ෂා නිසා ලොවට දුක් පැමිණේ; මන්ද එම පරීක්ෂා පැමිණිය යුතු ව ඇත. එහෙත් යමකු මගින් ඒවා පැමිණේ ද, ඒ අයට දුක් වේ! ඔබේ අත හෝ ඔබේ පය පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා ඉවත වීසි කරන්න. අබ්බගාත ව හෝ කොර ව හෝ ජීවනයට ඇතුළු වීම, දෑත් හෝ දෙපා ඇති ව සදාතන ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය. ඔබගේ ඇස පාපයට ඔබ පොලඹවයි නම්, එය උගුලා ඉවත වීසි කරන්න. එක් ඇසක් ඇති ව ජීවනයට ඇතුල්වීම, දෑස ම ඇති ව නිරා ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය.
“මේ කුඩාවුන්ගෙන් එකකු හෝ සුළු කොට නො තකන්ට වග බලා ගන්න. මා එසේ කියන්නේ, ඔවුන්ගේ දේව දූතයින් ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේගේ මුහුණ නිරතුරු දකින හෙයිනි. මන්ද මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ, නැති වූ දේ සොයන්නටත්, ගලවන්නටත් ය.
“ඔබ සිතන්නේ කුමක් ද? බැටළුවන් සියයක් ඇති මිනිසකුගේ එක් බැටළුවකු මංමුළා ව ගියහොත්, ඔහු අර අනූනව දෙනා කන්දේ පිටියේ හැර, ඒ මංමුළා වූ එකා සොයා යන්නේ නැති ද? ඔහුට ඌ හමු වුණොත්, සැබවින් ම මා ඔබට කියන්නේ, මංමුළා නො වූ අර අනූනව දෙනාට ම වඩා මේ එක බැටළුවා ගැන ඔහු සතුටු වන බවයි. එසේ ම මේ කුඩාවුන්ගෙන් එකකු හෝ විනාශ වීම ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නො වේ.
“ඔබේ සහෝදරයා ඔබට එරෙහිව පව් කරයි නම්, ගොස්, ඔහු හා ඔබ තනි ව සිට, ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබට සවන් දුනහොත්, ඔබ ඔබේ සහෝදරයා දිනා ගත්තා වෙයි. එහෙත් ඔහු ඔබට සවන් නො දේ නම්, ‘හැම කාරණයක් ම සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂිය මත ස්ථිර වන පිණිස,’ තව කෙනකු හෝ දෙදෙනකු කැඳවාගෙන යන්න. ඔහු ඔවුන්ට සවන් දීම ප්‍රතික්ෂේප කළොත්, එය සභාවට දන්වන්න. ඔහු සභාවට පවා සවන් දීම ප්‍රතික්ෂේප කළොත්, ඔහු විජාතිකයකු හෝ අයබදුකාරයකු සේ ගණන් ගන්න.
“සැබවින් ම මම ඔබට කියන්නම්; පොළොවේදී ඔබ යමක් බඳින්නේ ද, ස්වර්ගයේදී එය බඳිනු ලැබේ; පොළොවේදී ඔබ යමක් මුදන්නේ ද, ස්වර්ගයේදී එය මුදනු ලැබේ.
“යළිත් මා ඔබට කියන්නේ, පොළොවේදී ඔබ දෙදෙනකු තමන් ඉල්ලන යම් දෙයක් ගැන එක්සිත් වන්නේ නම්, ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේ ඔබට එය ඉටු කර දෙන බවයි. මන්ද දෙදෙනකු හෝ තිදෙනකු හෝ මගේ නාමයෙන් එක් රැස් වන්නේ නම්, මමත් එතැන ඔවුන් සමඟ සිටිමි” යි පැවසූ සේක.
එවිට පේතෘස් අවුත්, උන්වහන්සේ අමතමින්, “ස්වාමිනි, මගේ සහෝදරයා මට එරෙහිව පව් කරන කල, මා කී වරක් ඔහුට කමා විය යුතු ද? හත් වරක් දක්වා දැ?” යි ඇසී ය.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “හත් වරකැයි මා ඔබට කියන්නේ නැත, එහෙත් හැත්තෑ වර හතකි.