මතෙව් 17:13-27

මතෙව් 17:13-27 SCV

උන්වහන්සේ එසේ පැවසුවේ, යොහන් බව්තීස්ත ගැන බැව් උන්වහන්සේගේ ගෝලයෝ එවිට වටහා ගත්හ. ඔවුන් යළි ජන සමූහයා වෙත පැමිණි කල, එක් මිනිසෙක් උන්වහන්සේ වෙත අවුත්, උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, මගේ පුත්‍රයාට දයාව පෑ මැනව. ඔහු අපස්මාරයෙන් පෙළෙමින් දැඩි සේ පීඩා විඳියි. ඔහු නිතර ගින්නේ ද වතුරේ ද වැටෙයි. ඔබගේ ගෝලයන් වෙත ඔහු ගෙනාවෙමි. එහෙත් ඔහු සුව කරන්නට ඔවුනට නො හැකි විණැ” යි පැවසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කලක් මා ඔබ සමඟ සිටින්න ද? තව කොතෙක් කලක් ඔබ ගැන ඉවසා සිටින්න ද? ඔහු මා ළඟට මෙහි ගෙනෙන්නැ” යි කී සේක. යේසුස්වහන්සේ ඔහුට තරවටු කළෙන්, යක්ෂාත්මය ඔහුගෙන් පිටතට ආයේ ය. එකෙණෙහි ම දරුවා සුව කරනු ලැබිණ. පසුව ගෝලයෝ, පෞද්ගලික ව යේසුස්වහන්සේ වෙත අවුත්, “අපට ඌ දුරු කළ නො හැකි වූයේ ඇයි දැ?” යි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ ඔබේ ඇදහිල්ල මද නිසයි. සැබවින් ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම් වත් ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ කන්දට කතා කොට, ‘මෙතැනින් ඉවත් ව අතැනට යනු’ යි ඊට ඔබට කියත හැකියි. එවිට එය සිදු වන්නේ ය; ඔබට කළ නො හැකි කිසිවක් නැත. මේ වර්ගය යාච්ඤාවෙන් සහ නිරාහාරයෙන් මිස, අන් හැටියකින් දුරු කළ හැකි නො වේ” යි පැවසූ සේක. ඔවුහු ගලීලයේදී යළි රැස් වූ කල, යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ලබනු ඇත. ඔවුහු උන්වහන්සේ මරා දමති. මරණින් තුන් දිනකට පසු, උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පැවසූ සේක. ඔවුහු අතිශයෙන් සොවින් බරවූහ. ඔවුන් කපර්ණවුමට පැමිණි කල, ෂෙකෙල් භාගයේ බදු අය කරන්නෝ පේතෘස් වෙත ගොස්, “ඔබේ ගුරුතුමා දේව මාලිගා බද්ද ගෙවන්නේ නැද්දැ?” යි ඇසූහ. “ගෙවනවා” යි කී ඔහු ගෙට පැමිණි විට, යේසුස්වහන්සේ පළමු ව ඔහු අමතමින්, “සීමොන්, ඔබ සිතන්නේ කුමක් ද? මිහි පිට රජුන් බදු, වරිපණම් අය කරන්නේ තමන්ගේ ම පුතුන්ගෙන් ද? නැති නම් අන්‍යයන්ගෙන් දැ?” යි ඇසූ සේක. “අන්‍යයන්ගෙනි” යි ඔහු කී කල, යේසුස්වහන්සේ, “එසේ නම්, පුත්‍රයින් ඉන් නිදහස්; එසේ වුවත් අප ඔවුන්ට බාධා කළ යුතු නැහැ. එනිසා මුහුදට ගොස්, බිලි බා, මුලින් ම හසුවන මාළුවා ගන්න; උගේ මුව ඇරිය විට ෂෙකෙලයක් හමු වෙයි. එයින් ඔබගෙත්, මගෙත් බද්ද ගෙවන්නැ” යි කී සේක.