මතෙව් 16:21-27

මතෙව් 16:21-27 SCV

එතැන් පටන් යේසුස්වහන්සේ තමා යෙරුසලමට යා යුතු වුව ද, වැඩිහිටියන්, නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතින් තමන් බොහෝ පීඩා විඳින වග ද ඉන්පසු මරා දමනු ලබන වග ද තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන වග ද තම ගෝලයින්ට පවසන්නට වූ සේක. එවිට පේතෘස් උන්වහන්සේ පසෙකට කැඳවා, උන්වහන්සේට තරවටු කරන්නට වී, “කොහෙත් ම නැහැ ස්වාමිනි, ඔබට කිසිදාක එහෙම වන්නේ නැතැ” යි කීවේ ය. එහෙත් උන්වහන්සේ හැරී, පේතෘස් අමතමින්, “සාතන් මා පස්සට යව; නුඹ මට බාධකයක්; මන්ද නුඹ නුඹේ මනස යොමු කර ඇත්තේ දෙවියන්වහන්සේගේ කාරණා ගැන නො වේ; මිනිසුන්ගේ කාරණා ගැන යැ” යි පැවසූ සේක. ඉන්පසු යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “යම් කෙනෙක් මා අනුව එන්නට කැමති නම්, ඔහු තමා ම ප්‍රතික්ෂේප කර, තම කුරුසිය ගෙන මා අනුව එත්වා; මන්ද තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කර ගනී; එහෙත් මා නිසා තම ජීවිතය අහිමි කරගන්නාට එය සම්භ වේ. යමෙක් මුළු ලොව ම දිනාගත් නමුදු තම ජීවිතය නැති කර ගනී නම්, ඉන් ඔහුට ඇති පලය කුමක් ද? නොහොත් තම ජීවිතය වෙනුවට කෙනකුට හුවමාරු කර ගත හැක්කේ කුමක් ද? මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය දූතයින් සමඟ තම පියාණන්වහන්සේගේ තේජසින් පැමිණ, එක් එක් කෙනාට ඒ ඒ අය කළ කළ දේ අනුව පල විපාක දෙන සේක.