මතෙව් 16:21-26

මතෙව් 16:21-26 SCV

එතැන් පටන් යේසුස්වහන්සේ තමා යෙරුසලමට යා යුතු වුව ද, වැඩිහිටියන්, නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතින් තමන් බොහෝ පීඩා විඳින වග ද ඉන්පසු මරා දමනු ලබන වග ද තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන වග ද තම ගෝලයින්ට පවසන්නට වූ සේක. එවිට පේතෘස් උන්වහන්සේ පසෙකට කැඳවා, උන්වහන්සේට තරවටු කරන්නට වී, “කොහෙත් ම නැහැ ස්වාමිනි, ඔබට කිසිදාක එහෙම වන්නේ නැතැ” යි කීවේ ය. එහෙත් උන්වහන්සේ හැරී, පේතෘස් අමතමින්, “සාතන් මා පස්සට යව; නුඹ මට බාධකයක්; මන්ද නුඹ නුඹේ මනස යොමු කර ඇත්තේ දෙවියන්වහන්සේගේ කාරණා ගැන නො වේ; මිනිසුන්ගේ කාරණා ගැන යැ” යි පැවසූ සේක. ඉන්පසු යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “යම් කෙනෙක් මා අනුව එන්නට කැමති නම්, ඔහු තමා ම ප්‍රතික්ෂේප කර, තම කුරුසිය ගෙන මා අනුව එත්වා; මන්ද තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කර ගනී; එහෙත් මා නිසා තම ජීවිතය අහිමි කරගන්නාට එය සම්භ වේ. යමෙක් මුළු ලොව ම දිනාගත් නමුදු තම ජීවිතය නැති කර ගනී නම්, ඉන් ඔහුට ඇති පලය කුමක් ද? නොහොත් තම ජීවිතය වෙනුවට කෙනකුට හුවමාරු කර ගත හැක්කේ කුමක් ද?