යේසුස්වහන්සේ පිලිප්පි කායිසාරි පෙදෙසට පැමිණි කල, “ජනයා කියන්නේ මනුෂ්‍ය පුත්‍රයාණන් කවුරු ය කියා දැ?” යි තම ගෝලයන්ගෙන් ඇසූ සේක.
ඔවුහු පිළිතුරු දෙමින්, “සමහරුන් කියන්නේ, යොහන් බව්තීස්ත ය කියා ය; අන් සමහරු කියන්නේ එලියා ය කියා ය; සෙසු අය යෙරමියා හෝ වෙනත් දිවැසිවරයෙක් ය කියා යැ” යි කීහ.
“එහෙත්, ඔබ කියන්නේ මා කවරෙක් ය කියා දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.
සීමොන් පේතෘස් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ය; ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යැ” යි කීවේ ය.
යේසුස්වහන්සේ ඔහුට උත්තර දෙමින්, “සීමොන්, යෝනාගේ පුත්‍රය, ඔබ භාග්‍යවත් ය. මන්ද ඔබට මෙය හෙළි කළේ මාංසය හා රුධිරය නො වේ; ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේ ය. මා ඔබට කියන්නේ, ඔබ පේතෘස් ය; මේ පර්වතය පිට මම මගේ සභාව ගොඩ නගන්නෙමි. පාතාලයේ දොරටු, ඊට එරෙහිව ජය ගන්නේ නැත. ස්වර්ග රාජ්‍යයේ යතුරු මම ඔබට දෙන්නෙමි; පොළොවේදී ඔබ යමක් බඳින්නේ ද, ස්වර්ගයේදී එය බඳිනු ලැබේ; පොළොවේදී ඔබ යමක් මුදන්නේ ද, ස්වර්ගයේදී එය මුදනු ලැබේ යැ” යි පැවසූ සේක. ඉන්පසු තමා ක්‍රිස්තුස්වහන්සේ බැව් කිසිවකුට නො කියන ලෙස, තම ගෝලයනට උන්වහන්සේ නියෝග කළ සේක.
එතැන් පටන් යේසුස්වහන්සේ තමා යෙරුසලමට යා යුතු වුව ද, වැඩිහිටියන්, නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතින් තමන් බොහෝ පීඩා විඳින වග ද ඉන්පසු මරා දමනු ලබන වග ද තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන වග ද තම ගෝලයින්ට පවසන්නට වූ සේක.
එවිට පේතෘස් උන්වහන්සේ පසෙකට කැඳවා, උන්වහන්සේට තරවටු කරන්නට වී, “කොහෙත් ම නැහැ ස්වාමිනි, ඔබට කිසිදාක එහෙම වන්නේ නැතැ” යි කීවේ ය.
එහෙත් උන්වහන්සේ හැරී, පේතෘස් අමතමින්, “සාතන් මා පස්සට යව; නුඹ මට බාධකයක්; මන්ද නුඹ නුඹේ මනස යොමු කර ඇත්තේ දෙවියන්වහන්සේගේ කාරණා ගැන නො වේ; මිනිසුන්ගේ කාරණා ගැන යැ” යි පැවසූ සේක.
ඉන්පසු යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “යම් කෙනෙක් මා අනුව එන්නට කැමති නම්, ඔහු තමා ම ප්‍රතික්ෂේප කර, තම කුරුසිය ගෙන මා අනුව එත්වා; මන්ද තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කර ගනී; එහෙත් මා නිසා තම ජීවිතය අහිමි කරගන්නාට එය සම්භ වේ. යමෙක් මුළු ලොව ම දිනාගත් නමුදු තම ජීවිතය නැති කර ගනී නම්, ඉන් ඔහුට ඇති පලය කුමක් ද? නොහොත් තම ජීවිතය වෙනුවට කෙනකුට හුවමාරු කර ගත හැක්කේ කුමක් ද? මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය දූතයින් සමඟ තම පියාණන්වහන්සේගේ තේජසින් පැමිණ, එක් එක් කෙනාට ඒ ඒ අය කළ කළ දේ අනුව පල විපාක දෙන සේක.
“සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය රාජ්‍යයෙන් යුක්ත ව පැමිණෙනු දකින තෙක්, මෙහි සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.