මතෙව් 15:10-20

මතෙව් 15:10-20 SCV

උන්වහන්සේ ජන සමූහයා තමන් වෙත කැඳවා, ඔවුන් අමතමින්, “සවන් දී, තේරුම් ගන්න. මිනිසා අපවිත්‍ර වන්නේ, ඔහුගේ මුවින් ඇතුළු වන දෙයින් නො වේ. ඔහුගේ මුවින් පිටවන දෙයිනි. ඔහු අපවිත්‍ර කෙරෙන්නේ ඒවායිනි” යි කී සේක. එවිට උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “ඔබගේ ඒ කීම් ඇසූ පරිසීන් අමනාප වූ වග ඔබ දන්නවා දැ?” යි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ගීය මගේ පියාණන්වහන්සේ රෝපණ නො කළ හැම පැළෑටියක් ම මුලිනුදුරා දමනු ලැබේ. ඔවුන් ඔහේ හිටියා වේ; ඔවුහු මග පෙන්වන අන්ධයෝයි. අන්ධයකු තවත් අන්ධයකුට මග පෙන්වතොත්, දෙදෙනා ම වළක වැටෙනවා ඇතැ” යි කී සේක. එවිට පේතෘස්, “උපමාව අපට පහදා දෙන්නැ” යි උන්වහන්සේට කීවේ ය. එවිට උන්වහන්සේ, “කිම ද, තවමත් ඔබට වැටහෙන්නේ නැති ද? මුවට ඇතුළු වන කවර දෙයක් වුව උදරයට ගොස්, පසුව එය වැසිකිළියට බැහැර ව යන බැව් ඔබට නො පෙනේ ද? එහෙත් මුවින් පිටවන දෑ පැමිණෙන්නේ හදවතිනි. කෙනකු අපවිත්‍ර කෙරෙන්නේ ඒවායිනි. මන්ද දුෂ්ට සිතුවිලි, මිනී මැරුම්, පරදාර සේවනය, ලිංගික අපචාර, සොරකම්, බොරු සාක්ෂි හා නින්දා අපහාස පැන නැගෙන්නේ හදවතිනි. මිනිසා අපවිත්‍ර කෙරෙන්නේ එකී දෙයිනි; නො සේදු අත්වලින් ආහාර ගැනීමෙන් කෙනකු අපවිත්‍ර වන්නේ නැතැ” යි කී සේක.