පරිසිවරු හා දහම් පඬිවරු යෙරුසලමේ සිට, යේසුස්වහන්සේ වෙත අවුත්, කතා කොට, “ඔබගේ ගෝලයින් වැඩිහිටියන්ගේ සම්ප්‍රදායයන් කඩ කරන්නේ ඇයි? කෑමට පෙර ඔවුන් තම අත් සෝදන්නේ නැතැ” යි කීහ.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබගේ සම්ප්‍රදායයන් රැක ගන්නට දෙවියන්වහන්සේගේ ආඥා ඔබ කඩ කරන්නේ ඇයි? මන්ද, ‘ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න; තම පියාට හෝ මවට ශාප කරන කවරකු වුව මරණයට පත් කළ යුතු යැ’ යි දෙවියන්වහන්සේ අණ කර ඇත. එහෙත් ඔබ කියන්නේ, යමෙක් තම පියාට හෝ මවට හෝ කතා කොට, ‘ඔබගේ ප්‍රයෝජනයට මා ඔබට දිය යුතු ව තිබූ දෑ, දෙවියන්වහන්සේට කැප කළා’ යි කිවහොත්, ඔහුගේ පියාට හෝ මවට ගෞරව කළ යුතු නැත කියා ය. මෙසේ ඔබ, ඔබගේ ම සම්ප්‍රදායයන් උදෙසා දෙවියන්වහන්සේගේ ආඥා අවලංගු කරති. වංචනිකයිනි! යෙසායා කියා ඇති මේ දිවැසි වැකිය ඔබ ගැන අගේට ගැළපේ.
“ ‘මේ ජනයා තම තොල්වලින් මට ගෞරව කරති;
එහෙත් ඔවුන්ගේ හදවත්, මා වෙතින් බොහෝ ඈත ය.
මිනිසුන්ගේ ආඥා, ධර්මය ලෙස උගන්වමින්,
ඔවුන් මට නමස්කාර කරන්නේ නිකරුණේ ය.’”
උන්වහන්සේ ජන සමූහයා තමන් වෙත කැඳවා, ඔවුන් අමතමින්, “සවන් දී, තේරුම් ගන්න. මිනිසා අපවිත්‍ර වන්නේ, ඔහුගේ මුවින් ඇතුළු වන දෙයින් නො වේ. ඔහුගේ මුවින් පිටවන දෙයිනි. ඔහු අපවිත්‍ර කෙරෙන්නේ ඒවායිනි” යි කී සේක.
එවිට උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “ඔබගේ ඒ කීම් ඇසූ පරිසීන් අමනාප වූ වග ඔබ දන්නවා දැ?” යි ඇසූහ.
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ගීය මගේ පියාණන්වහන්සේ රෝපණ නො කළ හැම පැළෑටියක් ම මුලිනුදුරා දමනු ලැබේ. ඔවුන් ඔහේ හිටියා වේ; ඔවුහු මග පෙන්වන අන්ධයෝයි. අන්ධයකු තවත් අන්ධයකුට මග පෙන්වතොත්, දෙදෙනා ම වළක වැටෙනවා ඇතැ” යි කී සේක.
එවිට පේතෘස්, “උපමාව අපට පහදා දෙන්නැ” යි උන්වහන්සේට කීවේ ය.
එවිට උන්වහන්සේ, “කිම ද, තවමත් ඔබට වැටහෙන්නේ නැති ද? මුවට ඇතුළු වන කවර දෙයක් වුව උදරයට ගොස්, පසුව එය වැසිකිළියට බැහැර ව යන බැව් ඔබට නො පෙනේ ද? එහෙත් මුවින් පිටවන දෑ පැමිණෙන්නේ හදවතිනි. කෙනකු අපවිත්‍ර කෙරෙන්නේ ඒවායිනි. මන්ද දුෂ්ට සිතුවිලි, මිනී මැරුම්, පරදාර සේවනය, ලිංගික අපචාර, සොරකම්, බොරු සාක්ෂි හා නින්දා අපහාස පැන නැගෙන්නේ හදවතිනි. මිනිසා අපවිත්‍ර කෙරෙන්නේ එකී දෙයිනි; නො සේදු අත්වලින් ආහාර ගැනීමෙන් කෙනකු අපවිත්‍ර වන්නේ නැතැ” යි කී සේක.
යේසුස්වහන්සේ එතැනින් පිටත් ව, තීර් හා සීදොන් පෙදෙසට ගිය සේක. එවිට මෙන්න! ඒ පළාතේ කානානීය ස්ත්‍රියක් හඬමින්, උන්වහන්සේ වෙත අවුත්, “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කරන්න; මගේ දියණිය යක්ෂාත්මාවේශයෙන් දැඩි ව පීඩා විඳිතැ” යි කීවා ය.
එහෙත් උන්වහන්සේ වචනයකින්වත් පිළිතුරු දුන්නේ නැත. එවිට උන්වහන්සේගේ ගෝලයෝ අවුත්, “මැය හඬා වැටෙමින්, අප පස්සේ එන නිසා, ඇය පිටත් කර හරින්නැ” යි උදක් ම ඉල්ලූහ.
උන්වහන්සේ උත්තර දෙමින්, “මා එවනු ලැබ ඇත්තේ ඉශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණි” යි කී සේක.
එහෙත් පෙරට ආ ඈ උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, පිහිට වුව මැනවි!” යි කීවා ය.
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “දරුවන්ගේ රොටි ගෙන, බල්ලන්ට දැමීම යුතු නැතැ” යි කී සේක.
එවිට ඈ, “එසේය ස්වාමිනි, බල්ලෝ වුවත් තම හාම්පුතුන්ගේ මේසයෙන් වැටෙන අහර කැබලි අවුළා කති” යි කීවා ය.
එකල ඇය ඇමතූ යේසුස්වහන්සේ, “ස්ත්‍රිය, ඔබගේ ඇදහිල්ල ඉමහත් ය. ඔබට ඕනෑ කළ ලෙස ඔබට සිදු වේවා!” යි පැවසූ සේක. ඇගේ දියණිය ඒ මොහොතේ ම සුවය ලද්දී ය.
යේසුස්වහන්සේ එතැනින් නික්ම ගලීල මුහුද පසෙකින් ගමන් ගත් සේක. පසුව උන්වහන්සේ කන්දට නැග, එහි වාඩිගත් සේක. එකල කොරුන්, අන්ධයින්, අබ්බගාතයින්, ගොළුවන් හා වෙනත් බොහෝ රෝගීන් ද ගෙන උන්වහන්සේ වෙත ආ මහ සමූහයක්, ඒ රෝගීන් උන්වහන්සේගේ පාමුලට ගෙනාහ. උන්වහන්සේ ඔවුන් සුව කළ සේක. ගොළුවන් කතා කරනු ද අබ්බගාතයින් සුව වී සිටිනු ද කොරු ඇවිදිනු ද අන්ධයනට පෙනීම ලැබෙනු ද දුටු ජනයා විස්මිත ව, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.
යේසුස්වහන්සේ තම ගෝලයින් තමන් වෙත කැඳවා, “මේ සමූහයා ගැන මම අනුකම්පා ඇත්තෙමි. දැන් දවස් තුනක් මා සමඟ සිටින ඔවුන්ට කෑමට කිසිවක් නැහැ. කුස ගින්නේ ම ඔවුන් පිටත් කර හරින්නට මා කැමති නැහැ. ගියහොත් ඔවුන් අතර මගදී ක්ලාන්ත වේවි” යි කී සේක.
ගෝලයෝ පිළිතුරු දෙමින්, “මෙතරම් සමූහයකට කන්නට දෙන්න තරම් රොටි මේ පාළු පෙදෙසින් අප කොහොම සොයන්න දැ?” යි ඇසූහ.
“ඔබ ළඟ කොපමණ රොටි තිබේ දැ?” යි යේසුස්වහන්සේ ඇසූ සේක.
“හතකි” යි පැවසූ ඔවුහු, “මසුන් ස්වල්ප දෙනකුත් තියෙනවා” යි කීහ.
ජන සමූහයාට බිම ඉඳගන්නා ලෙස අණ කළ උන්වහන්සේ, ඉන්පසු රොටි හත හා මත්ස්‍යයින් ගෙන, ස්තුති දී, ඒවා කඩා ගෝලයින් අතට දුන් සේක. ගෝලයෝ ඒවා සමූහයාට දුන්හ. ඔවුහු සියල්ලෝ අනුභව කොට, සෑහීමට පැමිණියහ. ඉතිරි වූ කැබලිවලින් ඔවුහු ලොකු කූඩ හතක් පුරවා ගත්හ. ස්ත්‍රීන් හා දරුවන් හැර, කෑ අය ගණනින් පිරිමින් පමණක් හාර දහසකි. සමූහයා පිටත් කර යැවූ උන්වහන්සේ ඔරුවේ නැගී මගදන් පළාත වෙත ගිය සේක.