මතෙව් 15:1-11

මතෙව් 15:1-11 SCV

පරිසිවරු හා දහම් පඬිවරු යෙරුසලමේ සිට, යේසුස්වහන්සේ වෙත අවුත්, කතා කොට, “ඔබගේ ගෝලයින් වැඩිහිටියන්ගේ සම්ප්‍රදායයන් කඩ කරන්නේ ඇයි? කෑමට පෙර ඔවුන් තම අත් සෝදන්නේ නැතැ” යි කීහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබගේ සම්ප්‍රදායයන් රැක ගන්නට දෙවියන්වහන්සේගේ ආඥා ඔබ කඩ කරන්නේ ඇයි? මන්ද, ‘ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න; තම පියාට හෝ මවට ශාප කරන කවරකු වුව මරණයට පත් කළ යුතු යැ’ යි දෙවියන්වහන්සේ අණ කර ඇත. එහෙත් ඔබ කියන්නේ, යමෙක් තම පියාට හෝ මවට හෝ කතා කොට, ‘ඔබගේ ප්‍රයෝජනයට මා ඔබට දිය යුතු ව තිබූ දෑ, දෙවියන්වහන්සේට කැප කළා’ යි කිවහොත්, ඔහුගේ පියාට හෝ මවට ගෞරව කළ යුතු නැත කියා ය. මෙසේ ඔබ, ඔබගේ ම සම්ප්‍රදායයන් උදෙසා දෙවියන්වහන්සේගේ ආඥා අවලංගු කරති. වංචනිකයිනි! යෙසායා කියා ඇති මේ දිවැසි වැකිය ඔබ ගැන අගේට ගැළපේ. “ ‘මේ ජනයා තම තොල්වලින් මට ගෞරව කරති; එහෙත් ඔවුන්ගේ හදවත්, මා වෙතින් බොහෝ ඈත ය. මිනිසුන්ගේ ආඥා, ධර්මය ලෙස උගන්වමින්, ඔවුන් මට නමස්කාර කරන්නේ නිකරුණේ ය.’” උන්වහන්සේ ජන සමූහයා තමන් වෙත කැඳවා, ඔවුන් අමතමින්, “සවන් දී, තේරුම් ගන්න. මිනිසා අපවිත්‍ර වන්නේ, ඔහුගේ මුවින් ඇතුළු වන දෙයින් නො වේ. ඔහුගේ මුවින් පිටවන දෙයිනි. ඔහු අපවිත්‍ර කෙරෙන්නේ ඒවායිනි” යි කී සේක.

මතෙව් 15:1-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය