මතෙව් 14:22-31

මතෙව් 14:22-31 SCV

එකෙණෙහි ම, උන්වහන්සේ තමන් විසින් සමූහයා පිටත් කර හරින තෙක්, තම ගෝලයින් ඔරුවේ නංවා උන්වහන්සේට පෙරටුව එගොඩ යන්නට සැලසූ සේක. සමූහයා පිටත යැවූ පසු උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, තනි ව කන්දට නැගුණු සේක. සවස් වූ කල උන්වහන්සේ එහි සිටියේ තනි ව ය. මේ අතර ගොඩ බිමට ඈතින් වූ ඔරුවට රළ රැළි පහර දෙන්නට වූයේ, සුළඟ ඔවුන්ට එරෙහිව හැමූ බැවිනි. රාත්‍රි හතර වන යාමයේ උන්වහන්සේ ඔවුන් වෙත මුහුද මත ඇවිදගෙන ආ සේක. එහෙත් උන්වහන්සේ මුහුද මත ඇවිදිනු දුටු ගෝලයෝ බියෙන් වෙළී, “අවතාරයක් ය” කියමින් බියෙන් කෑ ගැසූහ. එහෙත් එකෙණෙහි ම ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ධෛර්යවත් වන්න! මේ මමයි. බය වන්න එපා” යි කී සේක. එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඒ ඔබ නම්, දිය මත ඇවිද ඔබ වෙත එන්නට මට අණ දෙන්නැ” යි කීවේ ය. උන්වහන්සේ, “එන්නැ” යි කී සේක. එවිට පේතෘස් ඔරුවෙන් පිටතට අවුත්, යේසුස්වහන්සේ වෙත දිය මත ඇවිද ගියේ ය. එහෙත් සුළඟ දැක, ඉන් බියපත් වූ ඔහු ගිලෙන්නට වී, “ස්වාමිනි, මා ගලවාගත මැනව” යි මොර ගැසී ය. එසැණෙහි තම අත දිගු කොට, ඔහු අල්ලා ගත් යේසුස්වහන්සේ, “ඇදහිලි මද තැනැත්ත, නුඹ සැක කළේ මන්දැ?” යි ඇසූ සේක.