යේසුස්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පැවසූ සේක: “ස්වර්ග රාජ්‍යය, තම කුඹුරේ හොඳ බීජ වපුළ මිනිසකුට සමාන ය. ඔහුගේ මිනිසුන් නිදා සිටින අතර, ඒ මිනිසාගේ සතුරා ඇවිත්, තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේ ය. පැළ මතු වී කරල් හටගත් කල, කිරිඳි ද ඒ අතරේ පෙනෙන්නට විය.
“එවිට ගෙහිමියා වෙත පැමිණි ඔහුගේ සේවකයෝ, ‘මහතාණනි, ඔබගේ කුඹුරේ ඔබ වපුළේ හොඳ තිරිඟු බීජ නො වේ ද? එසේ නම් මේ කිරිඳි පැළවී ඇත්තේ කෙසේ දැ?’ යි ඇසූහ.
“ ‘මේක සතුරකුගේ වැඩකැ’ යි ඔහු ඔවුන්ට පැවසී ය.
“එවිට සේවකයෝ, ‘ඔබට ඕනෑ අප ගොස්, ඒවා උදුරා දමනවාට දැ?’ යි ඔහුගෙන් ඇසූහ.
“ඔහු පිළිතුරු දෙමින්, ‘නැත, ඔබ කිරිඳි උදුරද්දී ඒ සමඟ තිරිඟු ද ඉදිරෙන්නට පුළුවන. අස්වනු කපන කාලය දක්වා දෙවගේ ම එකට වැඩෙන්නට හරින්න. අස්වනු කාලය ආවාම පළමු ව කිරිඳි එකතු කොට, පුලුස්සන පිණිස ඒවා මිටි බඳින්න; එහෙත් තිරිඟු මගේ ධාන්‍යාගාරයේ රැස් කරන්න කියා අස්වනු නෙළන්නන්ට මම කියන්නෙමියි’ ” පැවසී ය.
උන්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පවසමින්, “ස්වර්ග රාජ්‍යය, මිනිසකු තම ගෙවත්තේ සිටුවන අබ ඇටයකට සමාන ය. සියලු බීජ අතරින් ඉතාම කුඩා බීජය අබ වුව ද එය පැළවී වැඩුණ කල, අහස් පක්ෂීන් එහි අතුවල ලගින තරමේ ගසක් බවට පත් ව, පැළෑටි අතර විශාලතම ගස වේ යැ” යි පැවසූ සේක.
උන්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පවසමින්, “ස්වර්ග රාජ්‍යය, නැළි තුනක පිටි මුළුමනින් පිපෙන, ස්ත්‍රියක විසින් ඊට මුසු කරන ලද මුහුන්වලට සමාන යැ” යි පැවසූ සේක.
යේසුස්වහන්සේ, ජනයාට මේ හැම දේ පැවසුවේ උපමා මගිනි; උපමාවකින් තොර ව උන්වහන්සේ ඔවුනට කිසිවක් ම පැවසුවේ නැත. මෙසේ වූයේ දිවැසිවරයා මගින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය:
“මම උපමාවලින් මගේ මුව විවර කරමි,
ලෝකයේ අත්තිවාරම් ලූ තැන් පටන් සැඟවී තිබූ දෑ පවසන්නෙමි.”
ඉන්පසු උන්වහන්සේ සමූහයාගෙන් වෙන් ව නිවසට ගිය සේක. උන්වහන්සේ වෙත පැමිණි උන්වහන්සේගේ ගෝලයෝ, “කුඹුරේ කිරිඳි උපමාව අපට පහදා දෙන්නැ” යි කීහ.
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “හොඳ බීජ වපුළ තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා ය. කුඹුර මේ ලෝකයයි. හොඳ බීජ රාජ්‍යයේ පුත්‍රයෝ ය. කිරිඳි නපුරාගේ පුත්‍රයෝයි. ඒවා වපුළ සතුරා, යක්ෂයායි. අස්වනු කාලය යුග අන්තයයි. අස්වනු නෙළන්නෝ දේව දූතයොයි.
“කිරිඳි උදුරනු ලැබ, ගින්නෙහි දැවූ සේ ම, යුග අන්තයේදීත් සිදු වනු ඇත. මනුෂ්‍ය පුත්‍රයා තම දේව දූතයින් පිටත් කර යැවූ කල, ඔවුන් පවට හේතු වන හැම දේ හා නොපනත්කම් කරන සියල්ලන් උන්වහන්සේගේ රාජ්‍යයෙන් උදුරා, ගිනි ඇවිළෙන උදුනෙහි හෙළනු ඇත. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් ඇති වෙයි. එකල ධර්මිෂ්ඨයින් ඔවුන්ගේ පියාණන්වහන්සේගේ රාජ්‍යයෙහි හිරු මෙන් බබළනු ඇත. කන් ඇත්තා අසත්වා!
“ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබූ නිධානයකට සමාන ය. මිනිසකුට එය හමු වූ කල, ඔහු එය යළි සඟවා, සොම්නසින් පිටත් ව ගොස්, තමන් සතු හැම දේ විකුණා ඒ කෙත මිලට ගනී.
“තවද ස්වර්ග රාජ්‍යය, අගනා මුතු සොයා යන වෙළෙන්දකුට සමාන ය. ඉතා අගනා මුතුවක් හමු වූ කල, ඔහු ගොස්, තමන් සතු හැම දේ විකුණා, එය මිල දී ගත්තේ ය.
“තවද ස්වර්ග රාජ්‍යය, මුහුදේ හෙළන ලදුව හැම වර්ගයක ම මසුන් හසු වූ දැලකට සමාන ය. එය පිරී ගිය කල, මිනිස්සු එය වෙරළට ඇද, පසෙකින් හිඳ, හොඳ මසුන් වට්ටිවලට තෝරා දමමින්, නරක එවුන් ඉවතට වීසි කළහ. යුග අන්තයේදී සිදු වන්නේ ද එයයි. දේව දූතයින් අවුත්, ධර්මිෂ්ඨයින් වෙතින් දුෂ්ටයින් වෙන් කොට, ගිනි ඇවිළෙන උදුනෙහි ඔවුන් හෙළනු ඇත. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් ඇති වෙයි.
“මේ සියල්ල ඔබ තේරුම් ගත්තා දැ?” යි ඇසූ සේක.
“එසේ යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
“එබැවින් ස්වර්ග රාජ්‍යය ගැන ගෝලයකු බවට පත් වන දහම් පඬිවර හැම කෙනකු ම තම වස්තු ගබඩාවෙන් පැරණි දෑ මෙන් ම අලුත් දෑ පිටතට ගෙනෙන ගෘහ මූලිකයකුට සමාන යැ” යි පැවසූ සේක.