මතෙව් 13:18-30

මතෙව් 13:18-30 SCV

“දැන්, වපුරන්නාගේ උපමාවේ අරුතට සවන් දෙන්න: යමෙක් රාජ්‍යයේ ශුභාරංචි පණිවුඩය අසා, එය තේරුම් නො ගනී නම්, නපුරා අවුත්, ඔහුගේ හදෙහි වපුළ දේ ඩැහැ ගනී. මග දිගේ වපුළ බීජ නම් ඔහු ය. ගල් බිමේ වපුළ බීජ නම්, වචනය අසා, එක්වර ම එය සතුටින් පිළිගන්නා තැනැත්තා ය. එහෙත් ඔහු තුළ මුල් නැති බැවින්, එය පවතින්නේ සුළු කලකි. වචනය නිසා පීඩා හෝ විපත්ති පැමිණි විගස, ඔහු වැටී යයි. කටු අතරේ වැටුණු බීජ නම්, වචනයට සවන් යොමන නමුදු ලෝකයේ දුක් කරදර හා ධන සම්පත්හි මායාවෙන් වචනය යට කර දමන්නා ය. එය පල දරන්නේ නැත. සරු බිමෙහි වැටුණු බීජ වන්නේ වචනය අසා එය වටහා ගන්නා ය. ඔහු පල දරන්නේ ය. සිය ගුණයක්, හැට ගුණයක් හා තිස් ගුණයක් බැගින් පල දරන්නේ යැ” යි පැවසූ සේක. යේසුස්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පැවසූ සේක: “ස්වර්ග රාජ්‍යය, තම කුඹුරේ හොඳ බීජ වපුළ මිනිසකුට සමාන ය. ඔහුගේ මිනිසුන් නිදා සිටින අතර, ඒ මිනිසාගේ සතුරා ඇවිත්, තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේ ය. පැළ මතු වී කරල් හටගත් කල, කිරිඳි ද ඒ අතරේ පෙනෙන්නට විය. “එවිට ගෙහිමියා වෙත පැමිණි ඔහුගේ සේවකයෝ, ‘මහතාණනි, ඔබගේ කුඹුරේ ඔබ වපුළේ හොඳ තිරිඟු බීජ නො වේ ද? එසේ නම් මේ කිරිඳි පැළවී ඇත්තේ කෙසේ දැ?’ යි ඇසූහ. “ ‘මේක සතුරකුගේ වැඩකැ’ යි ඔහු ඔවුන්ට පැවසී ය. “එවිට සේවකයෝ, ‘ඔබට ඕනෑ අප ගොස්, ඒවා උදුරා දමනවාට දැ?’ යි ඔහුගෙන් ඇසූහ. “ඔහු පිළිතුරු දෙමින්, ‘නැත, ඔබ කිරිඳි උදුරද්දී ඒ සමඟ තිරිඟු ද ඉදිරෙන්නට පුළුවන. අස්වනු කපන කාලය දක්වා දෙවගේ ම එකට වැඩෙන්නට හරින්න. අස්වනු කාලය ආවාම පළමු ව කිරිඳි එකතු කොට, පුලුස්සන පිණිස ඒවා මිටි බඳින්න; එහෙත් තිරිඟු මගේ ධාන්‍යාගාරයේ රැස් කරන්න කියා අස්වනු නෙළන්නන්ට මම කියන්නෙමියි’ ” පැවසී ය.