මතෙව් 13:1-30

මතෙව් 13:1-30 SCV

ඒ දවසේ ම යේසුස්වහන්සේ නිවසින් පිටත් ව, මුහුද අද්දර හිඳගත් සේක. විශාල ජනකායක් උන්වහන්සේ වටා රොක්වූයෙන් උන්වහන්සේ ඔරුවකට නැග, එහි හිඳගත් සේක. මුළු ජනකාය ම වෙරළේ සිටගෙන වුන්හ. උන්වහන්සේ මෙසේ කියමින් ඔවුන්ට උපමා මගින් බොහෝ දෑ පවසන්නට වන් සේක: “වපුරන්නෙක් බීජ වපුරන්නට පිටත් ව ගියේ ය. ඔහු බීජ ඉසිද්දී ඉන් සමහරක් මග දිගේ වැටිණි. කුරුල්ලෝ ඇවිත් ඒවා කා දැමූහ. සමහරක්, එතරම් පස් නො තිබූ ගල් බිමේ වැටිණි. පස් නො ගැඹුරු බැවින් ඒවා ඉක්මනින් පැළවිණි. එහෙත් හිරු නැගුණ කල ඒවා කරවී, මුල් නොමැතිකමින් වියළී ගියේ ය. අන් බීජ කටු පඳුරු අතරේ වැටුණි. කටු පැළ වැවී ඒවා යට කර දැමී ය. සෙසු බීජ සරු බිමෙහි වැටී, සිය ගුණයක්, හැට ගුණයක් හා තිස් ගුණයක් යන වශයෙන් අස්වැන්න ඉපද වී ය. කන් ඇත්තා අසත්වා!” එවිට ගෝලයෝ උන්වහන්සේ වෙත අවුත්, “ඔබ ජනයාට උපමා මගින් කතා කරන්නේ මන්දැ?” යි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ග රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ; එහෙත් ඔවුනට දී නැත. ඇති තැනැත්තාට වඩ වඩා දෙනු ලැබේ; ඔහුට අධික ව ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ. මා ඔවුනට උපමාවලින් කතා කරන්නේ එබැවිනි. මන්ද: “පෙනි-පෙනීත් ඔවුන් දකින්නේ නැත; ඇසි-ඇසීත් ඔවුන් අසන්නේ නැත; ඔවුන් වටහා ගන්නේ ද නැත. ඔවුන් ගැන යෙසායාගේ මෙම අනාවැකිය ඉටු වෙයි: “ ‘නිරතුරු ඔබ අසන නමුදු කිසි විටෙක වටහා ගන්නේ නැත; නිරතුරු ඔබ දකින නමුදු කිසි විටෙක තේරුම් ගන්නේ නැත. මන්ද මේ ජනයාගේ හදවත් දැඩි වී ඇත; තම කන්වලින් ඔවුන් අසන්නේ නැති තරම් ය; තම ඇස් ඔවුන් වසාගෙන ඇත. එසේ නො විණි නම්, ඔවුන් තම ඇස්වලින් බලා, තම කන්වලින් අසා, තම හදවත්වලින් තේරුම් ගෙන, මා වෙත හැරෙන්නට තිබිණි. මා ද ඔවුන් සුව කරන්නට තිබිණි’ යන්නයි. එහෙත් ඔබගේ ඇස් භාග්‍යවත් ය. මන්ද ඒවාට පෙනේ. ඔබගේ කන් භාග්‍යවත් ය. මන්ද ඒවාට ඇසේ. සැබවින් ම මා ඔබට කියන්නම්; ඔබ දකින දේ දකින්නට දිවැසිවරු බොහෝ දෙනෙක් ද දමිටුන් බොහෝ දෙනෙක් ද මහත් සේ ආශා කළහ. එහෙත් ඔවුනට ඒවා දක්නට ලැබුණේ නැත. ඔබ අසන දේ අසන්නට ද ඔවුහු මහත් සේ ආශා කළහ. එහෙත් ඔවුනට ඒවා අසන්නට ලැබුණේ නැත. “දැන්, වපුරන්නාගේ උපමාවේ අරුතට සවන් දෙන්න: යමෙක් රාජ්‍යයේ ශුභාරංචි පණිවුඩය අසා, එය තේරුම් නො ගනී නම්, නපුරා අවුත්, ඔහුගේ හදෙහි වපුළ දේ ඩැහැ ගනී. මග දිගේ වපුළ බීජ නම් ඔහු ය. ගල් බිමේ වපුළ බීජ නම්, වචනය අසා, එක්වර ම එය සතුටින් පිළිගන්නා තැනැත්තා ය. එහෙත් ඔහු තුළ මුල් නැති බැවින්, එය පවතින්නේ සුළු කලකි. වචනය නිසා පීඩා හෝ විපත්ති පැමිණි විගස, ඔහු වැටී යයි. කටු අතරේ වැටුණු බීජ නම්, වචනයට සවන් යොමන නමුදු ලෝකයේ දුක් කරදර හා ධන සම්පත්හි මායාවෙන් වචනය යට කර දමන්නා ය. එය පල දරන්නේ නැත. සරු බිමෙහි වැටුණු බීජ වන්නේ වචනය අසා එය වටහා ගන්නා ය. ඔහු පල දරන්නේ ය. සිය ගුණයක්, හැට ගුණයක් හා තිස් ගුණයක් බැගින් පල දරන්නේ යැ” යි පැවසූ සේක. යේසුස්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පැවසූ සේක: “ස්වර්ග රාජ්‍යය, තම කුඹුරේ හොඳ බීජ වපුළ මිනිසකුට සමාන ය. ඔහුගේ මිනිසුන් නිදා සිටින අතර, ඒ මිනිසාගේ සතුරා ඇවිත්, තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේ ය. පැළ මතු වී කරල් හටගත් කල, කිරිඳි ද ඒ අතරේ පෙනෙන්නට විය. “එවිට ගෙහිමියා වෙත පැමිණි ඔහුගේ සේවකයෝ, ‘මහතාණනි, ඔබගේ කුඹුරේ ඔබ වපුළේ හොඳ තිරිඟු බීජ නො වේ ද? එසේ නම් මේ කිරිඳි පැළවී ඇත්තේ කෙසේ දැ?’ යි ඇසූහ. “ ‘මේක සතුරකුගේ වැඩකැ’ යි ඔහු ඔවුන්ට පැවසී ය. “එවිට සේවකයෝ, ‘ඔබට ඕනෑ අප ගොස්, ඒවා උදුරා දමනවාට දැ?’ යි ඔහුගෙන් ඇසූහ. “ඔහු පිළිතුරු දෙමින්, ‘නැත, ඔබ කිරිඳි උදුරද්දී ඒ සමඟ තිරිඟු ද ඉදිරෙන්නට පුළුවන. අස්වනු කපන කාලය දක්වා දෙවගේ ම එකට වැඩෙන්නට හරින්න. අස්වනු කාලය ආවාම පළමු ව කිරිඳි එකතු කොට, පුලුස්සන පිණිස ඒවා මිටි බඳින්න; එහෙත් තිරිඟු මගේ ධාන්‍යාගාරයේ රැස් කරන්න කියා අස්වනු නෙළන්නන්ට මම කියන්නෙමියි’ ” පැවසී ය.

මතෙව් 13:1-30 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය