මතෙව් 12:1-32

මතෙව් 12:1-32 SCV

එකල යේසුස්වහන්සේ සබත් දවසේදී කුඹුරු යායක් මැදින් ගමන් ගත් සේක. කුස ගිනි වූ උන්වහන්සේගේ ගෝලයෝ, ධාන්‍ය කරල් කඩා, කන්නට වූහ. පරිසිවරු ඒ දැක, “බලන්න! ඔබගේ ගෝලයෝ සබතේදී නීති විරෝධී දෙයක් කරති” යි කීහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “වරක් තමාටත්, තම සගයින්ටත් කුස ගිනි වූ විට දාවිත් කළ දේ ඔබ කියවා නැද්ද? ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල් ව, පූජකයනට විනා ඔහුටත්, තම සගයින්ටත් කෑමට අකැප පිදුම් රොටි ගෙන කෑ හැටි? නොහොත්, දේව මාලිග පූජකයින් සබතේදී සබත් නීති කඩ කළ පසුව ද, නිදොස් ව සිටින බැව් ව්‍යවස්ථාවෙහි ඔබ කියවා නැද්ද? මා ඔබට කියන්නේ, දේව මාලිගයට වඩා උතුම් කෙනෙක් මෙහි සිටින වගයි. ‘මම යාග පූජාවට නො ව දයාවට ආශා ඇත්තෙමි’ යන්නෙහි අරුත ඔබ දැන සිටියා නම්, නිදොස් අයට වරද තබන්නේ නැත. මන්ද මනුෂ්‍ය පුත්‍රයාණෝ සබත් දවසේ ස්වාමියාණෝ යැ” යි පැවසූ සේක. උන්වහන්සේ එතැනින් නික්ම, ඔවුන්ගේ සිනගෝගයට ඇතුල් වූ සේක. අතක් අප්‍රාණික මිනිසෙක් ද එහි විය. “සබතේදී සුව කිරීම නිත්‍යානුකූල දැ?” යි ඔවුහු උන්වහන්සේගෙන් ඇසූහ. ඔවුන් එසේ ඇසුවේ උන්වහන්සේට චෝදනා කරන අටියෙනි. උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ අතරේ කෙනකුට බැටළුවකු සිටින්නේ නම්, සබතකදී ඌ වළක වැටුණොත්, ඔබ ඌ අල්ලා ගොඩ ගන්නේ නැති ද? බැටළුවකුට වඩා මිනිසකු කොතරම් වටිනවා ද! එබැවින්, සබතේ දවසේදී යහපත කිරීම නිත්‍යානුකූල යැ” යි පැවසූ සේක. ඉන්පසු උන්වහන්සේ, “ඔබේ අත දිගු කරන්නැ” යි ඒ මිනිසාට කී විට, ඔහු එය දිගු කළේ ය; එය මුළුමනින් ප්‍රකෘතිමත් ව අනික් අත මෙන් යථා තත්වයට පත් ව තිබිණි. එහෙත් පරිසිවරු එතැනින් නික්ම ගොස්, උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළහ. යේසුස්වහන්සේ ඒ වග දැන, එතැනින් පිටත් ව ගිය සේක. බොහෝ දෙනෙක් උන්වහන්සේ පසු පස ගියහ. උන්වහන්සේ ඔවුන් සියල්ලන් සුව කළ සේක්, තමා කවුරුන්දැයි ප්‍රසිද්ධ නො කරන ලෙස ඔවුනට අණ කළ සේක. මෙසේ වූයේ දිවැසිවර යෙසායා විසින් පවසන ලද කියමන ඉටු වන පිණිස ය: “මෙන්න, මා තෝරාගත් මගේ සේවකයා, මගේ ජීවය සොම්නස් කරවන, මා ප්‍රේම කරන තැනැත්තා; ඔහු පිට මම මගේ ආත්මයාණන් තබමි. ඔහු ජාතීනට යුක්තිය ප්‍රකාශ කරනු ඇත. ඔහු දබර කරන්නේවත්, මොර හඬ නගන්නේවත් නැත; ඔහුගේ කටහඬ වීදිවලදී කිසිවකුට ඇසෙන්නේ නැත. ඔහු යුක්තිය, ජයට පත් කරන තෙක්, තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්, දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත. ඔහුගේ නාමය තුළ ජාතීහු බලාපොරොත්තු තබනු ඇත.” ඉන්පසු යක්ෂාත්මයක් වැහුණු, අන්ධ වූත්, ගොළු වූත් මිනිහෙක් උන්වහන්සේ වෙත ගෙනෙන ලදී. කතා කරන්නටත්, දකින්නටත් හැකි වන සේ උන්වහන්සේ ඔහු සුව කළ සේක. සියලු ජනයා විස්මිත වී, “මේ දාවිත්ගේ පුත්‍රයාණන්වත් දෝ?” යි පැවසූහ. එහෙත් පරිසිවරුනට එය සැල වූ කල, “මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති බෙල්සෙබුල් මගින් පමණි” යි කීහ. උන්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, ඔවුන් අමතමින්, “එයට ම එරෙහිව බෙදුනු හැම රාජ්‍යයක් බිඳ වැටෙයි. එයට ම එරෙහිව බෙදුනු නගරයක් හෝ ගෙදරක් හෝ පවතින්නේ නැත. සාතන් විසින් සාතන් දුරු කරනු ලබන්නේ නම්, ඔහු තමන්ට ම එරෙහිව බෙදී සිටියි. එසේ නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මා යක්ෂාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල් මගින් නම්, ඔබේ පුතුන් උන් දුරු කරන්නේ, කවරකු මගින් ද? එබැවින්, ඔවුන් ම ඔබගේ විනිශ්චයකරුවන් ය. එනමුත් මා යක්ෂාත්මයන් දුරු කරන්නේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මගින් නම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරේ පැමිණ ඇත. “පළමු කොට බලවන්තයා බැඳ දැමුවොත් මිස, බලවතකුගේ ගෙට ඇතුළු වී, ඔහු සතු දේ පැහැර ගත හැක්කේ කවරකුට ද? ඔහු බැඳ දැමූ පසු, ඔහුගේ ගෙය කොල්ලකත හැකියි. “මා සමඟ නො වන තැනැත්තා මට විරුද්ධ ය. මා හා එක් රැස් නො කරන්නා විසුරුවා හරියි. එබැවින් මා ඔබට කියන්නේ, හැම පාපයකට හා හැම දේවාපහාසයකට මිනිසාට කමාව දෙනු ලබන බවයි; එහෙත් ආත්මයාණන්වහන්සේට එරෙහිව නගන දේවාපහාසයට කමාවක් නැත. මනුෂ්‍ය-පුත්‍රයාට එරෙහි වචනයක් පවසන කවරකුට වුව, කමා කරනු ලැබේ. එහෙත් ශුද්ධාත්මයාණන්ට එරෙහිව කතා කරන කවරකුට වුව, මේ යුගයේදීවත්, මතු පැමිණෙන යුගයේදීවත් කමා කරනු නො ලැබේ.

මතෙව් 12:1-32 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය