එකල යේසුස්වහන්සේ සබත් දවසේදී කුඹුරු යායක් මැදින් ගමන් ගත් සේක. කුස ගිනි වූ උන්වහන්සේගේ ගෝලයෝ, ධාන්‍ය කරල් කඩා, කන්නට වූහ. පරිසිවරු ඒ දැක, “බලන්න! ඔබගේ ගෝලයෝ සබතේදී නීති විරෝධී දෙයක් කරති” යි කීහ.
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “වරක් තමාටත්, තම සගයින්ටත් කුස ගිනි වූ විට දාවිත් කළ දේ ඔබ කියවා නැද්ද? ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල් ව, පූජකයනට විනා ඔහුටත්, තම සගයින්ටත් කෑමට අකැප පිදුම් රොටි ගෙන කෑ හැටි? නොහොත්, දේව මාලිග පූජකයින් සබතේදී සබත් නීති කඩ කළ පසුව ද, නිදොස් ව සිටින බැව් ව්‍යවස්ථාවෙහි ඔබ කියවා නැද්ද? මා ඔබට කියන්නේ, දේව මාලිගයට වඩා උතුම් කෙනෙක් මෙහි සිටින වගයි. ‘මම යාග පූජාවට නො ව දයාවට ආශා ඇත්තෙමි’ යන්නෙහි අරුත ඔබ දැන සිටියා නම්, නිදොස් අයට වරද තබන්නේ නැත. මන්ද මනුෂ්‍ය පුත්‍රයාණෝ සබත් දවසේ ස්වාමියාණෝ යැ” යි පැවසූ සේක.
උන්වහන්සේ එතැනින් නික්ම, ඔවුන්ගේ සිනගෝගයට ඇතුල් වූ සේක. අතක් අප්‍රාණික මිනිසෙක් ද එහි විය. “සබතේදී සුව කිරීම නිත්‍යානුකූල දැ?” යි ඔවුහු උන්වහන්සේගෙන් ඇසූහ. ඔවුන් එසේ ඇසුවේ උන්වහන්සේට චෝදනා කරන අටියෙනි.
උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ අතරේ කෙනකුට බැටළුවකු සිටින්නේ නම්, සබතකදී ඌ වළක වැටුණොත්, ඔබ ඌ අල්ලා ගොඩ ගන්නේ නැති ද? බැටළුවකුට වඩා මිනිසකු කොතරම් වටිනවා ද! එබැවින්, සබතේ දවසේදී යහපත කිරීම නිත්‍යානුකූල යැ” යි පැවසූ සේක.
ඉන්පසු උන්වහන්සේ, “ඔබේ අත දිගු කරන්නැ” යි ඒ මිනිසාට කී විට, ඔහු එය දිගු කළේ ය; එය මුළුමනින් ප්‍රකෘතිමත් ව අනික් අත මෙන් යථා තත්වයට පත් ව තිබිණි. එහෙත් පරිසිවරු එතැනින් නික්ම ගොස්, උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළහ.
යේසුස්වහන්සේ ඒ වග දැන, එතැනින් පිටත් ව ගිය සේක. බොහෝ දෙනෙක් උන්වහන්සේ පසු පස ගියහ. උන්වහන්සේ ඔවුන් සියල්ලන් සුව කළ සේක්, තමා කවුරුන්දැයි ප්‍රසිද්ධ නො කරන ලෙස ඔවුනට අණ කළ සේක. මෙසේ වූයේ දිවැසිවර යෙසායා විසින් පවසන ලද කියමන ඉටු වන පිණිස ය:
“මෙන්න, මා තෝරාගත් මගේ සේවකයා,
මගේ ජීවය සොම්නස් කරවන, මා ප්‍රේම කරන තැනැත්තා;
ඔහු පිට මම මගේ ආත්මයාණන් තබමි.
ඔහු ජාතීනට යුක්තිය ප්‍රකාශ කරනු ඇත.
ඔහු දබර කරන්නේවත්, මොර හඬ නගන්නේවත් නැත;
ඔහුගේ කටහඬ වීදිවලදී කිසිවකුට ඇසෙන්නේ නැත.
ඔහු යුක්තිය, ජයට පත් කරන තෙක්,
තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්,
දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.
ඔහුගේ නාමය තුළ ජාතීහු බලාපොරොත්තු තබනු ඇත.”