මතෙව් 11:20-30

මතෙව් 11:20-30 SCV

ඉන්පසු උන්වහන්සේ තමන් කළ බලවත් ක්‍රියා වැඩියෙන් ම සිදු කළ නගරවලට තරවටු කරන්නට වූයේ ඒවා පසුතැවිලි නො වූ නිසා ය. “අහෝ කොරාසීනය, ඔබට වන විපතක මහත! අහෝ බෙත්සයිදා, ඔබට වන විපතක මහත! මන්ද නුඹ දෙපොලේ කරන ලද බලවත් ක්‍රියා තීර් හා සීදොන්හි දී කරන ලද නම්, මීට බොහෝ කලින් ඔවුන් ගෝණි රෙදි හැඳ, අළු මත හිඳ පසුතැවිලි වන්නට තිබිණි. එහෙත් මා ඔබට කියන්නේ විනිශ්චය දවසේදී තීර්ට හා සීදොන්ට ඔබට වඩා දැරිය හැකි වන බවයි. එම්බා කපර්ණවුම, නුඹ ස්වර්ගය දක්වා උසස් කරනු ලැබේ ද? නැත! නුඹ පාතාලය දක්වා පහත් කරනු ලබනු ඇත. නුඹ තුළ සිදු කළ බලවත් ක්‍රියා සොදොම් තුළ කරන ලද්දේ වී නම්, එය අද දක්වාමත් පවතින්ට තිබිණි. මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේ ඔබට වඩා සොදොමට දැරිය හැකි වන බවයි.” ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක, “ස්වර්ගයට හා පොළොවට ස්වාමියාණන් වූ පියාණන්වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවතුන්ගෙන් හා උගතුන්ගෙන් මේ දෑ සඟවා, ළා-බාලයින්හට එළිදරවු කළ බැවින් මම ඔබට ස්තුති කරමි. එසේය පියාණෙනි, ඔබගේ ප්‍රිය මනාපය වූයේ එයයි. “මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේ ම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත. “වෙහෙස වෙන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න. මම ඔබට සහනය දෙමි. මා හදවතින් මෘදු ව, යටහත් ව සිටින බැවින් මගේ වියගහ කරට ගෙන, මගෙන් ඉගෙන ගන්න; එවිට ඔබගේ ජීවාත්මයට සහනය ලැබේ. මන්ද මගේ වියගහ පහසු ය; මගේ බර ද සැහැල්ලු ය.”