මතෙව් 11:2-19

මතෙව් 11:2-19 SCV

මේ අතර, ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියා ගැන සිරගෙදරදී ඇසූ යොහන්, තම ගෝලයින් අත අසා යවමින්, “එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් අප අන් කෙනකු බලා සිටිය යුතු දැ?” යි විමසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ අසන, දකින දෑ යොහන්ට ගොසින් කියන්න. අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ. මා ගැන නො පැකිළෙන තැනැත්තා භාග්‍යවතෙකැ” යි පැවසූ සේක. ඔවුන් නික්ම යත් ම, යේසුස්වහන්සේ ජන සමූහයාට යොහන් ගැන කතා කරන්නට වී, “ඔබ පාළුකරයට පිටත් ව ගියේ කුමක් බලන්න ද? සුළඟින් සැලෙන බට ගසක් බලන්න ද? එසේ නම්, ඔබ ගියේ කුමක් බලන්න ද? සිනිඳු සේල සළු පිළි හැඳි මිනිසකු බලන්න ද? නැත, සිනිඳු සළු පිළි හැඳි අය සිටින්නේ රජ මාලිගාවලයි. එසේ නම් ඔබ ගියේ කුමක් බලන්න ද? දිවැසිවරයකු ද? ඔව්, මා ඔබට කියන්නේ, දිවැසිවරයකුටත් වඩා උතුම් කෙනකු” ය කියායි. මන්ද, “ ‘මෙන්න මගේ දූතයා ඔබට පෙරටුව යවමි. ඔබට පෙරටුව ඔබගේ මාර්ගය සකසන්නේ ඔහු යැ’ යි ලියා ඇත්තේ ඔහු ගැන ය. “සැබවින් ම මා ඔබට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරේ යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නො නැගුටුණු බවයි; එහෙත් ස්වර්ග රාජ්‍යයේ ඉතාම සුළු තැනැත්තා පවා ඔහුට වඩා උතුම් ය. යොහන් බව්තීස්තගේ දවස්වල පටන් අද දක්වා, ස්වර්ග රාජ්‍යය සැහැසිකමට ලක් වී තිබේ. සැහැසිකම් කරන්නෝ බලහත්කාරයෙන් එය අල්ලා ගනිති. මන්ද යොහන් දක්වා සියලු දිවැසිවරු හා ව්‍යවස්ථාව, දිවැසි වැකි පළ කළහ. ඔබ පිළිගන්නට කැමති නම්, එන්නට සිටි එලියා මොහුයි. අසන්නට කන් ඇත්තා අසත්වා! “මම මේ පරම්පරාවේ ජනයා කුමකට සමාන කරම් ද? එය සමාන වන්නේ, කඩ-මණ්ඩියේ හිඳ තම සගයනට මෙසේ හඬ ගසන දරුවනටයි: “ ‘අප ඔබට නළා පිම්බා, කෝ! ඔබ නැටුවේ නෑ; අප විලාප ගී ගැයුවා; ඔබ හැඬුවේ නෑ’ යි කියන්නන්ටයි. මන්ද යොහන් පැමිණියේ කන්නේවත්, බොන්නේවත් නැතිවයි. එවිට ‘ඔහුට යක්ෂාත්මයක් වැහිලා’ යි කී ඔවුහු, මනුෂ්‍ය පුත්‍රයා කමින්, බොමින් ආ කල, ‘මෙන්න බලන්න! කෑදරයෙක්; බේබද්දෙක්; බදු අයකරන්නන්ගේ හා පව්කරුවන්ගේ මිතුරෙකැ’ යි කියති. එහෙත් ප්‍රඥාව නිවැරදි බව එහි ක්‍රියාවලින් ම ඔප්පු වී ඇත.”