ලූක් 9:10-27
ලූක් 9:10-27 SCV
අපෝස්තුලුවරු පෙරළා පැමිණ, තමන් කළ දෑ ගැන උන්වහන්සේට පැවසූහ. එවිට උන්වහන්සේ ඔවුන් වෙනම කැඳවාගෙන බෙත්සයිදා නම් වූ නුවරකට ගිය සේක. එහෙත් ඒ වග දැනගත් සමූහයා, උන්වහන්සේ පසුපසින් ඇදී ගියහ. සාදරයෙන් ඔවුන් පිළිගත් උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කියා දී, සුවය අවැසි අය සුව කළ සේක. දවස ගෙවෙමින් තිබියදී උන්වහන්සේ වෙත ආ දොළොස් දෙනා, “නවාතැන් සහ අහර සපයා ගන්නට මේ සෙනඟ අවට ගම්මාන හා පිටිසර පෙදෙස්වලට පිටත් කර යවන්න; මන්ද අප සිටින්නේ පාළු පෙදෙසකැ” යි කීහ. උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ ම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ කල, ඔවුහු පිළිතුරු දෙමින්, “අප ගොස්, මේ මුළු පිරිසට ආහාර මිල දී ගතහොත් මිස, රොටි පහක් හා මසුන් දෙදෙනකුට වැඩි දෙයක් අප ළඟ නැතැ” යි කීහ. (මන්ද එහි පිරිමින් පන්දහසක් පමණ වූහ.) “පනස් දෙනා බැගින් කාණ්ඩ වශයෙන් ඔවුන් හිඳුවන්නැ” යි යේසුස්වහන්සේ ගෝලයින්ට කී සේක. ගෝලයෝ එලෙස සියල්ලන් හිඳ වූහ. උන්වහන්සේ රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන ස්වර්ගය දෙස ඉහළ බලා, ඒවා ගැන ආශිර්වාදය පැවසූ සේක. ඉන්පසු ඒවා කැඩූ උන්වහන්සේ සමූහයා ඉදිරියේ තබන පිණිස, ගෝලයින්ට දුන් සේක. සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පත් වූහ. ඉතිරි වූ කැබලි එකතු කරනු ලැබ, කූඩ දොළහක් පුරවාගනු ලැබිණ. වරෙක උන්වහන්සේ තනි ව යාච්ඤා කරමින් සිටියදී, ගෝලයෝ ද උන්වහන්සේ සමඟ වූහ. උන්වහන්සේ ඔවුන් අමතමින්, “සමූහයා කියන්නේ මා කවුරු ය කියා දැ?” යි ඇසූ සේක. ඔවුහු පිළිතුරු දෙමින්, “යොහන් බව්තීස්ත ය කියා ය, සමහරු දිවැසිවර එලියා ය කියා ද අන් සමහරු පෙර විසූ දිවැසිවරයෙක් නැගිට ඇත කියා ද කියති” යි කීහ. එවිට උන්වහන්සේ, “කුමක් ද ඔබ කියන්නේ? ඔබ කියන්නේ මා කවරෙක් ය කියා දැ?” යි ඇසූ සේක. පේතෘස් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ යැ” යි කීවේ ය. මේ වග කිසිවකුටත් නො කියන ලෙස අණ කරමින්, උන්වහන්සේ ඔවුන්ට නියෝග කර, “මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳින්නටත්, වැඩිහිටියන් ද නායක පූජකයින් හා දහම් පඬිවරුන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නට හා මරා දමනු ලබන්නටත්, තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන්නටත් ඕනෑ” යි පැවසූ සේක. ඉන්පසු සියල්ලන් ඇමතූ උන්වහන්සේ, “යම් කෙනෙක් මා අනුව එන්නට කැමති නම්, ඔහු තමා ම ප්‍රතික්ෂේප කර, දිනපතා තම කුරුසිය උසුලා, මා අනුව එත්වා. මන්ද තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කර ගනී. එහෙත් මා නිසා සිය ජීවිතය අහිමි කර ගන්නා, එය රැක ගනී. යමෙක් මුළු ලොව ම දිනාගත් නමුදු, තම ජීවිතය නැති කර ගනී නම් හෝ අහිමි කර ගනී නම්, ඔහුට ඉන් කවර පලක් ද? යමෙක් මා ගැනත්, මගේ වචන ගැනත් ලජ්ජා වන්නේ නම්, මනුෂ්‍ය පුත්‍රයාණන් තමන්ගේ තේජසින් ද පියාණන්වහන්සේගේ හා ශුද්ධ වූ දේව දූතයින්ගේ තේජසින් ද යුක්ත ව එන කල, ඒ තැනැත්තා ගැනත් ලජ්ජා වනු ඇත. “සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින තුරු, මෙහි සිටගෙන සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.


