මහත් ජන සමූහයක් එක් රැස් වෙද්දී, නගරයක් නගරයක් වෙතින් ජනයා උන්වහන්සේ වෙත ඇදී ආ කල, උන්වහන්සේ උපමා කතාවක් පවසමින්, “වපුරන්නෙක් තම බීජ වපුරන්නට ගියේ ය. ඔහු බීජ ඉසිද්දී, ඉන් සමහරක් මග දිගේ වැටී, පයට පෑගී ගියේ ය. කුරුල්ලෝ ඒවා කා දැමූහ. සමහරක් පර්වතය පිට වැටී, පැළ වූ නමුදු, තෙතමනය නැති බැවින් වියළී ගියේ ය. සමහරක් බීජ කටු පඳුරු අතරේ වැටී පැළ විය. කටු පැළ ද ඒ සමඟ වැවී, ඒවා යට කර දැමී ය. සෙසු බීජ සරු බිමෙහි වැටී, පැළවී, එකට සියය බැගින් අස්වනු ඉපද වී ය.”
එසේ කියමින් උන්වහන්සේ, “කන් ඇත්තා අසත්වා!” යි උස් හඬින් පැවසූ සේක.
ඒ උපමාවේ අරුත කුමක් දැයි ගෝලයෝ උන්වහන්සේගෙන් විමසූහ. එවිට උන්වහන්සේ, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ. එහෙත් සෙසු අයට මා කතා කරන්නේ උපමා මගිනි. ඒ,
“ ‘පෙනි-පෙනීත් ඔවුන් නො දකින පිණිසත්,
ඇසි-ඇසීත් ඔවුන්ට නො වැටහෙන පිණිසත්’ ය.
“උපමාවේ අරුත මෙයයි: බීජ, දෙවියන්වහන්සේගේ වචනයයි. මග දිගේ වපුළ වූ ඒවා වන්නේ, වචනය ඇසූ අයයි. එහෙත් ඔවුන් විශ්වාස කර, ගැලවීම නො ලබන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ හදවත්වලින් ඒ වචනය පැහැර ගනී. ගල්බිම පිට වූ ඒවා වන්නේ, වචනය ඇසූ කල ප්‍රීතියෙන් එය පිළිගන්නා නමුත් මුල් නැති බැවින්, මද කලකට පමණක් විශ්වාස කර, පරීක්ෂා පැමිණි කල වැටී යන අයයි. කටු අතරේ වැටුණු බීජ, අසන නමුත්, ඔවුන් තම ජීවිත ගමනේදී ජීවිතයේ කරදර, සම්පත් හා සැප සෙල්ලම්වලින් හිරවී සිටින අයයි. ඔවුන්ගේ පල මෝරන්නේ නැත. සරු බිමෙහි වූවෝ, යහපත් හදින් වචනය අසා, තදින් එය අල්ලාගෙන, නො පසුබට වීර්යයෙන් පල දරන අයයි.
“කිසිවකු පහනක් දල්වා බඳුනකින් වසන්නේවත්, ඇඳක් යට තබන්නේවත් නැත. කරන්නේ, ඇතුල් වන අයට එළිය පෙනෙන පිණිස, එය පහන් රුකක් මත තැබීම ය. මන්ද එළිදරවු නො වන සේ සඟවන ලද කිසිවක් නැත. දැනගනු නො ලබන සේ වසන් කරන ලද කිසි රහසක්වත් නැත. එබැවින් ඔබ අසන හැටි ගැන පරෙස්සම් වන්න. මන්ද ඇති තැනැත්තාට වඩ වඩා දෙනු ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහු, තමාට ඇතැයි ඔහු සිතන දේ පවා ගනු ලැබේ” යි කී සේක.