ලූක් 8:3-12
ලූක් 8:3-12 SCV
හෙරෝද්ගේ ගබඩා භාරකරු වූ කුසාගේ භාර්යාව වූ යොවන්නා ද සුසන්නා ද තමන්ට ඇති දෙයින් ඔවුන්ට උපස්ථාන කළ තව බොහෝ දෙනෙක් ද ඒ අතර වූහ. මහත් ජන සමූහයක් එක් රැස් වෙද්දී, නගරයක් නගරයක් වෙතින් ජනයා උන්වහන්සේ වෙත ඇදී ආ කල, උන්වහන්සේ උපමා කතාවක් පවසමින්, “වපුරන්නෙක් තම බීජ වපුරන්නට ගියේ ය. ඔහු බීජ ඉසිද්දී, ඉන් සමහරක් මග දිගේ වැටී, පයට පෑගී ගියේ ය. කුරුල්ලෝ ඒවා කා දැමූහ. සමහරක් පර්වතය පිට වැටී, පැළ වූ නමුදු, තෙතමනය නැති බැවින් වියළී ගියේ ය. සමහරක් බීජ කටු පඳුරු අතරේ වැටී පැළ විය. කටු පැළ ද ඒ සමඟ වැවී, ඒවා යට කර දැමී ය. සෙසු බීජ සරු බිමෙහි වැටී, පැළවී, එකට සියය බැගින් අස්වනු ඉපද වී ය.” එසේ කියමින් උන්වහන්සේ, “කන් ඇත්තා අසත්වා!” යි උස් හඬින් පැවසූ සේක. ඒ උපමාවේ අරුත කුමක් දැයි ගෝලයෝ උන්වහන්සේගෙන් විමසූහ. එවිට උන්වහන්සේ, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ. එහෙත් සෙසු අයට මා කතා කරන්නේ උපමා මගිනි. ඒ, “ ‘පෙනි-පෙනීත් ඔවුන් නො දකින පිණිසත්, ඇසි-ඇසීත් ඔවුන්ට නො වැටහෙන පිණිසත්’ ය. “උපමාවේ අරුත මෙයයි: බීජ, දෙවියන්වහන්සේගේ වචනයයි. මග දිගේ වපුළ වූ ඒවා වන්නේ, වචනය ඇසූ අයයි. එහෙත් ඔවුන් විශ්වාස කර, ගැලවීම නො ලබන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ හදවත්වලින් ඒ වචනය පැහැර ගනී.

