යේසුස්වහන්සේ වෙරළට පිය නගත් ම, නගරයේ සිට ආ යක්ෂාත්මාවේශ වූ මිනිහෙක් උන්වහන්සේට මුණ ගැසිණි. දිගු කලෙක පටන් ඇඳුමක් නො හැඳි ඔහු ගෙදරක නො වැස, සොහොන් ගෙවල ම ලැග සිටියේ ය. යේසුස්වහන්සේ දුටු කල මොර ගසා, උන්වහන්සේ ඉදිරියේ වැටුණු ඔහු, “මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස්වහන්ස, ඔබට මගෙන් ඇති කාරිය කිම ද? අනේ මට වධ නුදුන මැනව” යි මහ හඬ නැගුවේ ය. මන්ද ඒ මිනිසාගෙන් පිට වී යන ලෙස ඒ අපවිත්‍ර ආත්මයට උන්වහන්සේ අණ කළ බැවිනි. මන්ද ඌ නොයෙක් වර ඔහුට ආවේශ වූ බැවින්, ඔහුගේ දෑත දෙපය යදමින් බැඳ, මුර කරන ලදී. එහෙත් ඔහු ඒ බැමි බිඳ, යක්ෂාත්මය විසින් පාළු තැන් කරා පන්නනු ලැබ තිබිණ.
“තමාගේ නම කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක.
යක්ෂාත්ම සමූහයක් ම ඔහුට ආවේශ ව සිටි බැවින්, “සේනාව” යයි ඔහු පිළිතුරු දුන්නේ ය. ඔවුහු උන්වහන්සේට කන්නලව් කරමින්, පාතාලයට යෑමට තමනට නියෝග නො කරන්නැයි ඉල්ලූහ.
මහ ඌරු රැළක් අසල කන්දේ අහර කමින් වුන්හ. ඌරු රැළට වැහෙන්නට ඔවුහු අවසර ඉල්ලූහ. උන්වහන්සේ අවසර දුන් කල, මිනිසා වෙතින් දුරුව ආ යක්ෂාත්මයෝ ඌරු රැළට වැහුණහ. එවිට බෑවුම පහළට වේගයෙන් දුව ගිය ඌරු රැළ විලේ ගිලී මළෝ ය.
සිදු වූ දේ දුටු ඌරු පල්ලෝ දුව ගොස්, නගරයේත්, ගමේත් ඒ වග පතළ කළහ; කුමක් සිදු වී දැයි බලන්නට ඇදී ආ ජනයා, යේසුස්වහන්සේ වෙත ආ කල, යක්ෂාත්ම වැහී සිටි මිනිහා ඇඳුම් ඇඳ, හොඳ සිහියෙන් යුතු ව, යේසුස්වහන්සේ පාමුල හිඳ සිටිනු දැක බය වූහ. යක්ෂාත්මාවේශ ව සිටි මිනිහා සුව කරනු ලැබූ අයුරු සිද්ධිය ඇසින් දුටු අය ඔවුන්ට විස්තර කළහ. ගෙරසේන අවට පෙදෙසේ මුළු ජනයා තමන් වෙතින් ඉවත් ව යන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලූහ. මන්ද ඔවුන් සිටියේ මහත් භීතියෙනි. එබැවින් උන්වහන්සේ ඔරුවේ නැගී ආපසු ගිය සේක.
යක්ෂාත්මයන්ගෙන් මිදුණු මිනිසා කන්නලව් කරමින් උන්වහන්සේ සමඟ යෑමට අයැදී ය. එහෙත් යේසුස්වහන්සේ ඔහු පිටත් කරමින්, “ආපහු ඔබේ ගෙදර ගොස්, දෙවියන්වහන්සේ ඔබට මොන තරම් දෙයක් කළ සේක් ද කියා ප්‍රකාශ කරන්නැ” යි පැවසූ සේක. ඔහු පිටත් ව ගොස්, යේසුස්වහන්සේ කොතරම් දෑ තමාට කළා ද කියා නගරය පුරා පතළ කළේ ය.
යේසුස්වහන්සේ ආපසු ආ කල, ජනයා සාදරයෙන් උන්වහන්සේ පිළිගත්හ. මන්ද උන්වහන්සේ එන තෙක් ඔවුන් මග බලා සිටි බැවිනි. සිනගෝග පාලකයකු වූ යායිරස් නැමැත්තෙක් පැමිණ, යේසුස්වහන්සේගේ පාමුල වැටී, තම නිවසට එන ලෙස ආයාචනා කළේ ය. මන්ද දොළොස් හැවිරිදි පමණ වූ ඔහුගේ එක ම දියණිය මරණාසන්න ව සිටියා ය.
උන්වහන්සේ එහි යන අතර ජන සමූහයා උන්වහන්සේ වටා තෙරපුණහ. දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් ද එහි වූවා ය. තමන් සතු සියල්ල වෙදුන්ට වියදම් කළා වුව ද, කිසිවකුටත් ඇය සුව කළ නො හැකි විය. යේසුස්වහන්සේ පසුපසින් පැමිණි ඈ, උන්වහන්සේගේ සළුවේ වාටියට අත ගැසුවා ය; එකෙණෙහි ම ඇගේ ලේ ගැලීම නැවතිණි.
“මට අත ගැසුවේ කවුරු දැ?” යි යේසුස්වහන්සේ ඇසූ කළ,
සියල්ලෝ ම, තමන් එසේ නො කළ බව කීවෝ ය. එවිට පේතෘස්, “ස්වාමිනි, මහජනයා ඔබට තෙරපෙමින් තද වෙති” යි කීවේ ය.
එහෙත් යේසුස්වහන්සේ, “කවුරු නමුත් මට අත ගැසුවා; ආනුභාවය මගෙන් නික්මෙනු මට දැනුණා” යි පැවසූ සේක.
එවිට, තමාට වසං විය නො හැකි වග දුටු ස්ත්‍රිය ගැහි-ගැහී අවුත්, උන්වහන්සේ පාමුල වැටී, තමා උන්වහන්සේට අත ගැසූ හේතුවත්, වහා සුවය ලද අයුරුත් සියල්ලන් ඉදිරියේ විස්තර කළා ය. එවිට ඇය ඇමතූ උන්වහන්සේ, “දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇත; සාමයෙන් යන්නැ” යි කී සේක.
උන්වහන්සේ එසේ කියද්දී ම, සිනගෝග පාලක යායිරස්ගේ නිවසින් ආ කෙනෙක්, “ඔබේ දියණිය මිය ගියා. තවදුරටත් ගුරු හිමියන් වෙහෙසන්න එපා” යි දැන්වී ය.
ඒ ඇසූ යේසුස්වහන්සේ ඔහු අමතා, “බය නො වන්න; විශ්වාසයෙන් ම සිටින්න; ඇය සනීප වනු ඇතැ” යි කී සේක.
උන්වහන්සේ යායිරස්ගේ නිවසට පැමිණි පසු පේතෘස්, යොහන් හා යාකොබ් ද දැරියගේ මවු පිය දෙපල ද හැර, අන් කිසිවකුට තමන් සමඟ ඇතුළු වීමට ඉඩ නුදුන් සේක. සියල්ලන් ම සිටියේ ඈ ගැන හඬමිනි; වැලපෙමිනි. “ඔය හැඬීම නවත්වන්න. ඈ නිදනවා විනා මැරී නැතැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක.
ඈ මැරී සිටි වග දත් ඔවුහු උන්වහන්සේට සිනාසුණහ. එහෙත් උන්වහන්සේ ඇගේ අත අල්ලා, “දියණිය නැගිටින්නැ!” යි පැවසූ සේක. ඇගේ ප්‍රාණය ආපසු හැරී ආයෙන්, ඈ එක්වන ම නැගී සිටියා ය. ඇයට කෑමට යමක් දෙන්නැයි උන්වහන්සේ කී සේක. ඇගේ මව් පියෝ විස්මිත වූහ. එහෙත් සිදු වූ දෑ කිසිවකුටත් නො පවසන ලෙස උන්වහන්සේ ඔවුන්ට අණ කළ සේක.