ලූක් 8:19-39
ලූක් 8:19-39 SCV
උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් උන්වහන්සේ වෙත ආ නමුදු සමූහයා නිසා උන්වහන්සේට ළං වීමට ඔවුන්ට හැකි වූයේ නැත. එවිට, “අන්න ඔබේ මෑණියන් හා ඔබේ සහෝදරයින් ඔබ දකින්නට ඇවිත් පිටත ඉන්නවා” යි උන්වහන්සේට දන්වන ලදී. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ මෑණියන් හා මගේ සහෝදරයින් වන්නේ දෙවියන්වහන්සේගේ වචනය අසා, ඒවා පිළිපදින අය යැ” යි පැවසූ සේක. දිනක් තම ගෝලයින් සමඟ ඔරුවකට නැගුණු යේසුස්වහන්සේ, “අපි විලෙන් එගොඩට යමු” යි කී සේක. එවිට ඔවුහු ඔරුව දියත් කළහ. ඔවුන් යාත්රා කරද්දී උන්වහන්සේ නිදන්නට වන් සේක. විල හරහා සැඩ කුණාටුවක් හැමූයෙන්, ඔරුව තුළට දිය පිරී එය ගිලෙන තරමට රැළි නැංගේ ය. තත්වය අනතුරුදායක විය. එවිට ඔවුහු උන්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේ අවදි කරවමින්, “ස්වාමිනි, ස්වාමිනි, අප විනාශ වෙන්නටයි යන්නේ!” යි කෑ ගැසූහ. උන්වහන්සේ නැගිට, සුළඟටත්, රුදු රළ රැළිවලටත් තරවටු කළ සේක. එවිට ඒවා නැවතිණ; සියල්ල නිසල විය. “කෝ! ඔබේ ඇදහිල්ල?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. බයින් ද විස්මයෙන් ද වෙළී ගිය ඔවුහු, “මොහු කවරෙක් ද? සුළඟට හා ජලයට පවා මොහු අණ දෙන කල ඒවා ද කීකරු වෙතැ” යි එකිනෙකාට පැවසූහ. ඔවුහු ගලීලය ඉදිරිපිට පිහිටි ගෙරසේනයන්ගේ පෙදෙසට ගොඩ බටහ. යේසුස්වහන්සේ වෙරළට පිය නගත් ම, නගරයේ සිට ආ යක්ෂාත්මාවේශ වූ මිනිහෙක් උන්වහන්සේට මුණ ගැසිණි. දිගු කලෙක පටන් ඇඳුමක් නො හැඳි ඔහු ගෙදරක නො වැස, සොහොන් ගෙවල ම ලැග සිටියේ ය. යේසුස්වහන්සේ දුටු කල මොර ගසා, උන්වහන්සේ ඉදිරියේ වැටුණු ඔහු, “මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්ර යේසුස්වහන්ස, ඔබට මගෙන් ඇති කාරිය කිම ද? අනේ මට වධ නුදුන මැනව” යි මහ හඬ නැගුවේ ය. මන්ද ඒ මිනිසාගෙන් පිට වී යන ලෙස ඒ අපවිත්ර ආත්මයට උන්වහන්සේ අණ කළ බැවිනි. මන්ද ඌ නොයෙක් වර ඔහුට ආවේශ වූ බැවින්, ඔහුගේ දෑත දෙපය යදමින් බැඳ, මුර කරන ලදී. එහෙත් ඔහු ඒ බැමි බිඳ, යක්ෂාත්මය විසින් පාළු තැන් කරා පන්නනු ලැබ තිබිණ. “තමාගේ නම කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. යක්ෂාත්ම සමූහයක් ම ඔහුට ආවේශ ව සිටි බැවින්, “සේනාව” යයි ඔහු පිළිතුරු දුන්නේ ය. ඔවුහු උන්වහන්සේට කන්නලව් කරමින්, පාතාලයට යෑමට තමනට නියෝග නො කරන්නැයි ඉල්ලූහ. මහ ඌරු රැළක් අසල කන්දේ අහර කමින් වුන්හ. ඌරු රැළට වැහෙන්නට ඔවුහු අවසර ඉල්ලූහ. උන්වහන්සේ අවසර දුන් කල, මිනිසා වෙතින් දුරුව ආ යක්ෂාත්මයෝ ඌරු රැළට වැහුණහ. එවිට බෑවුම පහළට වේගයෙන් දුව ගිය ඌරු රැළ විලේ ගිලී මළෝ ය. සිදු වූ දේ දුටු ඌරු පල්ලෝ දුව ගොස්, නගරයේත්, ගමේත් ඒ වග පතළ කළහ; කුමක් සිදු වී දැයි බලන්නට ඇදී ආ ජනයා, යේසුස්වහන්සේ වෙත ආ කල, යක්ෂාත්ම වැහී සිටි මිනිහා ඇඳුම් ඇඳ, හොඳ සිහියෙන් යුතු ව, යේසුස්වහන්සේ පාමුල හිඳ සිටිනු දැක බය වූහ. යක්ෂාත්මාවේශ ව සිටි මිනිහා සුව කරනු ලැබූ අයුරු සිද්ධිය ඇසින් දුටු අය ඔවුන්ට විස්තර කළහ. ගෙරසේන අවට පෙදෙසේ මුළු ජනයා තමන් වෙතින් ඉවත් ව යන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලූහ. මන්ද ඔවුන් සිටියේ මහත් භීතියෙනි. එබැවින් උන්වහන්සේ ඔරුවේ නැගී ආපසු ගිය සේක. යක්ෂාත්මයන්ගෙන් මිදුණු මිනිසා කන්නලව් කරමින් උන්වහන්සේ සමඟ යෑමට අයැදී ය. එහෙත් යේසුස්වහන්සේ ඔහු පිටත් කරමින්, “ආපහු ඔබේ ගෙදර ගොස්, දෙවියන්වහන්සේ ඔබට මොන තරම් දෙයක් කළ සේක් ද කියා ප්රකාශ කරන්නැ” යි පැවසූ සේක. ඔහු පිටත් ව ගොස්, යේසුස්වහන්සේ කොතරම් දෑ තමාට කළා ද කියා නගරය පුරා පතළ කළේ ය.

