ලූක් 7:11-35

ලූක් 7:11-35 SCV

ඉන් අනතුරුව උන්වහන්සේ නායින් නම් වූ නගරයට ගිය සේක. උන්වහන්සේගේ ගෝලයෝ ද මහා ජන සමූහයක් ද උන්වහන්සේ සමඟ ගියහ. උන්වහන්සේ නගර දොරටුවට ළඟා වෙත් ම; මෙන්න! මළ මිනියක් පිටතට ගෙන එමින් තිබිණි. ඒ, වැන්දඹු මවකට සිටි එක ම පුත්‍රයා වූ කෙනකුගේ ය. සෑහෙන පිරිසක් නගරයේ සිට ඇය සමඟ ගමන් කළහ. ස්වාමින්වහන්සේ ඇය දුටු කල, ඇයට අනුකම්පා කර, “හඬන්න එපා” යි පැවසූ සේක. උන්වහන්සේ දෙණ වෙත ගොස්, ඊට අත තැබූ කල, දෙණ උසුලන්නෝ නැවතුණහ. එවිට උන්වහන්සේ, “තරුණය, නැගිටින්නැයි මම ඔබට කියමි!” යි කී සේක. මළ මිනිසා කෙළින් වී හිඳ, කතා කරන්නට වන්නේ ය. යේසුස්වහන්සේ ඔහුගේ මවට ඔහු භාර දුන් සේක. එවිට සියල්ලෝ භයින් වෙළී, “ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර නැගිටලා! දෙවියන්වහන්සේ තම ජනයාට පිහිට වන්නට ඇවිල්ලා!” යි කියමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝ ය. උන්වහන්සේ පිළිබඳ පුවත මුළු යුදය පුරාත්, ඒ අවට පෙදෙස්හිත් පතළ විය. යොහන්ගේ ගෝලයෝ මේ සියලු විස්තර යොහන්ට දැන්වූහ. එකල තම ගෝලයින් දෙදෙනකු තමා වෙත කැඳවූ ඔහු, ස්වාමින්වහන්සේ වෙත ඔවුන් යවමින්, “එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් වෙනත් කෙනකු ගැන අප බලා සිටිය යුතු දැ?” යි අසා යැවී ය. ඒ මිනිස්සු උන්වහන්සේ වෙත අවුත්, “ ‘එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් වෙනත් කෙනකු ගැන අප බලා සිටිය යුතු දැ?’ යි ඔබගෙන් අසන්නට යොහන් බව්තීස්ත අප එවී යැ” යි කීහ. ඒ පැයේදී ම උන්වහන්සේ රෝග හා ව්‍යාධි තිබූ බොහෝ දෙනකු ද දුෂ්ටාත්ම ද සුව කර, අන්ධ ව සිටි බොහෝ දෙනකුට පෙනීම දුන් සේක. ඉන්පසු ඔවුන් ඇමතූ උන්වහන්සේ, “දැන් ආපසු ගොස්, ඔබ අසන, දකින දෑ යොහන්ට ගොසින් කියන්න. අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ. මා ගැන නො පැකිළෙන තැනැත්තා භාග්‍යවතෙකැ” යි පැවසූ සේක. යොහන්ගේ පණිවුඩකරුවන් නික්ම ගිය පසු, රැස් ව සිටි ජන සමූහයාට යොහන් ගැන කතාව පටන් ගත් යේසුස්වහන්සේ, “ඔබ පාළුකරයට පිටත් ව ගියේ කුමක් බලන්න ද? සුළඟින් සැලෙන බට ගසක් බලන්න ද? එසේ නම්, ඔබ ගියේ කුමක් බලන්න ද? සිනිඳු සේල සළු පිළි හැඳි මිනිසකු ද? බලන්න, අගනා සළු පිළි හැඳ, සුඛ විහරණයෙන් දිවි ගෙවන අය සිටින්නේ රජ මාලිගාවලයි. එසේ නම් ඔබ ගියේ කුමක් බලන්න ද? දිවැසිවරයකු ද? ඔව්, මා ඔබට කියන්නේ, දිවැසිවරයකුටත් වඩා උතුම් කෙනකු ය කියායි. මෙසේ ලියා තියෙන්නේ ඔහු ගැනයි: “ ‘මෙන්න මම මගේ දූතයා ඔබට පෙරටුව යවමි. ඔබ ඉදිරියේ ඔහු ඔබේ පෙරමග සකසනු ඇත.’ මා ඔබට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් උපන් කිසිවකු යොහන්ට වඩා උතුම් නො වන බවයි; එහෙත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ඉතාම සුළු තැනැත්තා පවා ඔහුට වඩා උතුම් ය.” (යොහන්ගේ බව්තීස්ම ලබා සිටි, බදු අය කරන්නන් ඇතුළු ව මුළු ජනයා ඒ ඇසූ කල, දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ වග ප්‍රකාශ කළහ. එහෙත් පරිසිවරු හා නීති විශාරදයෝ ඔහුගෙන් බව්තීස්ම නො ලැබ, තමන් සඳහා වූ දෙවියන්වහන්සේගේ සැලැස්ම ප්‍රතික්ෂේප කළහ.) “එසේ නම් මම මේ පරම්පරාවේ ජනයා කුමකට සමාන කරම් ද? ඔවුන් කවුරුන්ට සමාන ද? කඩ-මණ්ඩියේ හිඳ තම සගයනට මෙසේ හඬ ගසන දරුවනටයි: “ ‘අප ඔබට නළා පිම්බා, කෝ! ඔබ නැටුවේ නෑ; අප විලාප ගී ගැයුවා; ඔබ හැඬුවේ නෑ.’ මන්ද යොහන් බව්තීස්ත පැමිණියේ රොටි කන්නේවත්, මිදි යුෂ බොන්නේවත් නැතිවයි. ඊට ඔබ කියන්නේ, ‘ඔහුට යක්ෂාත්මයක් වැහිලා ඇත’ කියායි. මනුෂ්‍ය පුත්‍රයා ආවේ කමින්, බොමින්; එවිට ඔබ කියන්නේ, ‘මෙන්න බලන්න! කෑදරයෙක්, බේබද්දෙක්; බදු අයකරන්නන්ගේ හා පව්කරුවන්ගේ මිතුරෙක්!’ කියායි. එහෙත් ප්‍රඥාව නිවැරදි බව එහි දරුවන්ගෙන් ඔප්පු වී ඇතැ” යි පැවසූ සේක.

ලූක් 7 කියවන්න