ලූක් 6:24-42

ලූක් 6:24-42 SCV

“එනමුත්, ධනවත් ඔබට දුක් වේ; මන්ද ඔබේ සැනසිල්ල ඔබ ලබා ඇත. දැන් සෑහී සිටින ඔබට දුක් වේ: මන්ද ඔබට සාගිනි වනු ඇත. දැන් සිනාසෙන ඔබට දුක් වේ; මන්ද ඔබ හඬනු ඇත; වැලපෙනු ඇත. සියලු දෙනා ඔබගේ ගුණ වණනා කල ඔබට දුක් වේ; මන්ද ඔවුන්ගේ පියවරුන් බොරු දිවැසිවරුන්ට කළේ ද එය ම ය. “මට සවන් දෙන ඔබට මා කියන්නේ, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න. ඔබට ශාප කරන්නන්ට සෙත් පතන්න. ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න. යමෙක් ඔබේ එක් කම්මුලකට ගැහුවොත්, අනෙකත් හරවන්න. යමෙක් ඔබේ උඩු කබාය ගතහොත්, ඔබේ යටි කබායත් ගන්නට දෙන්න. ඔබෙන් ඉල්ලන හැම කෙනකුට දෙන්න. යමෙක් ඔබ සතු දේ පැහැර ගතහොත් ඒවා ආපසු නො ඉල්ලන්න. අන්‍යයන් ඔබට කෙලෙස සලකනවාට ඔබ කැමති ද ඔබත් එලෙස ම ඔවුනට කරන්න. “ඔබ ප්‍රේම කරන්නේ ඔබට ප්‍රේම කරන අයට පමණක් නම්, ඔබට මොන විපාකයක් ද? මන්ද පව්කරුවෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. ඔබ යහපත කරන්නේ ඔබට යහපත කරන අයට ම නම්, එහි ඇති පලේ කුමක් ද? මන්ද පව්කරුවෝ පවා එය ම කරති. ඔබ ණයට දෙන්නේ ආපසු ගැනීමේ අදහසින් නම් එහි ඇති පලේ කුමක් ද? පව්කරුවෝ පවා සියල්ල ආපසු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පව්කරුවන්ට ණයට දෙති. එනමුත් ඔබේ සතුරනට ප්‍රේම කරන්න; යහපත ම කරන්න. කිසිවක් ආපසු ගන්නා අදහසක් නැතිව ණයට දෙන්න. එවිට ඔබේ ඉටු විපාකය අනර්ඝ වනු ඇත. ඔබ මහෝත්තමයාණන්ගේ පුත්‍රයින් වනු ඇත. මන්ද කළගුණ දන්නේ නැතිවුන්ට හා දුෂ්ටයින්ට උන්වහන්සේ කාරුණික ය. ඔබේ පියාණන්වහන්සේ දයාවන්ත ව සිටින්නා සේ ඔබත් දයාවන්ත වන්න. “විනිශ්චය නො කරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නො ලැබේ. වරදට පත් නො කරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නො ලැබේ. කමාව දෙන්න; එවිට ඔබටත් කමා කරනු ලැබේ. දෙන්න; එවිට ඔබටත් දෙනු ලැබේ. තද කර ඔබා, සොලව සොලවා, පිරී ඉතිරී යන්නට ඔබේ ඔඩොක්කුවට මැන දෙනු ඇත. මන්ද ඔබ මනින මිම්මෙන් ම ඔබට ද මැන දෙනු ලැබේ.” උන්වහන්සේ මෙම උපමාව ද ඔවුන්ට පැවසූ සේක: “අන්ධයකුට මග පෙන්වන්නට අන්ධයකුට පුළුවන් ද? ඔවුන් දෙදෙනා ම වළක වැටෙනවා නො වේ ද? ගෝලයකු තම ගුරුවරයාට වඩා උසස් නැත. එහෙත් සම්පූර්ණ පුහුණුව ලද හැම කෙනෙක් ම තම ගුරුවරයා හා සම තත්වයට එති. “ඔබේ ම ඇසේ ඇති ලී පතුර දෙස නො බලා, ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ්ඩ දෙස බලන්නේ ඇයි? ඔබේ ම ඇසේ ඇති ලී පතුර නො දැක ඔබේ සහෝදරයාට කතා කොට, ‘සොයුර, ඔබේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කරන්න ඉඩ දෙන්නැ’ යි කියන්නේ කෙසේ ද? වංචාකාරය, පළමු ව, ඔබේ ඇසේ ඇති ලී පතුර ඉවත් කර ගන්න; එවිට ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කිරීමට පැහැදිලි ව ම ඔබට පෙනෙනු ඇත.

ලූක් 6 කියවන්න