ලූක් 6:12-36

ලූක් 6:12-36 SCV

එදවස්හි යාච්ඤා කරන්නට කන්දට නැගුණු යේසුස්වහන්සේ, රැයක් මුළුල්ලේ දිගට ම දෙවියන්වහන්සේට යාච්ඤා කළ සේක. පහන් වූ කල, තම ගෝලයින් තමන් වෙත කැඳවූ උන්වහන්සේ ඔවුන් අතරින් දොළොස් දෙනකු තෝරා, අපෝස්තුලුවරුන් යයි ඔවුන් හැඳින් වූ සේක. ඔවුහු නම්: උන්වහන්සේ පේතෘස් යන නම් තැබූ සීමොන්, ඔහුගේ සහෝදර අන්දෘ, යාකොබ්, යොහන්, පිලිප්, බර්තොලමෙව්, මතෙව්, තෝමස්, අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්, ජ්වලිතයා යයි නම් ලත් සීමොන්, යාකොබ්ගේ පුත්‍ර යූදස් හා ද්‍රෝහියකු වූ යූදස් ඉස්කාරියොත් ය. උන්වහන්සේ ඔවුන් සමඟ පහළට බැස, තැනිතලා බිමකට ආ සේක. උන්වහන්සේගේ අනුගාමිකයින් විශාල සංඛ්‍යාවක් හා මුළු යුදයෙන් ද යෙරුසලමෙන් ද මුහුදුකරයේ තීර් හා සීදොන් පළාත්වලින් ද ආ අති මහත් ජනකායක් එහි වූහ. ඔවුන් පැමිණ සිටියේ උන්වහන්සේට සවන් දීමට හා තම රෝග සුව කර ගැනීමට ය. අපවිත්‍ර ආත්මවලින් පීඩා විඳි අය ද සුව කරනු ලැබූහ. උන්වහන්සේගෙන් බලය නික්ම, ඔවුන් හැම සුව කළ බැවින් මුළු ජනකාය ම උන්වහන්සේට අත ගසන්නට සෙවූහ. එකල උන්වහන්සේ තම ගෝලයින් දෙස නෙත් හෙළා මෙසේ පැවසූ සේක: “දිළිඳු වූ ඔබ භාග්‍යවන්ත ය, මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය. දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්ත ය, මන්ද ඔබ තෘප්තියට පත් කරනු ලබනු ඇත. දැන් හඬා වැටෙන ඔබ භාග්‍යවත් ය, මන්ද ඔබ සිනාසෙනු ඇත. මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට වෛර කරන කල, ඔවුන් ඔබ බැහැර කරමින්, ඔබට අවමන් කරමින්, ඔබේ නාමය නපුරකැයි හෙළා දකින කල ඔබ භාග්‍යවත් ය. “ඒ දවසේදී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් උඩ පනින්න; මන්ද, මෙන්න! ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. මන්ද ඔවුන්ගේ පියවරුන් දිවැසිවරුනට සැලකුවේ ද එලෙස ම ය. “එනමුත්, ධනවත් ඔබට දුක් වේ; මන්ද ඔබේ සැනසිල්ල ඔබ ලබා ඇත. දැන් සෑහී සිටින ඔබට දුක් වේ: මන්ද ඔබට සාගිනි වනු ඇත. දැන් සිනාසෙන ඔබට දුක් වේ; මන්ද ඔබ හඬනු ඇත; වැලපෙනු ඇත. සියලු දෙනා ඔබගේ ගුණ වණනා කල ඔබට දුක් වේ; මන්ද ඔවුන්ගේ පියවරුන් බොරු දිවැසිවරුන්ට කළේ ද එය ම ය. “මට සවන් දෙන ඔබට මා කියන්නේ, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න. ඔබට ශාප කරන්නන්ට සෙත් පතන්න. ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න. යමෙක් ඔබේ එක් කම්මුලකට ගැහුවොත්, අනෙකත් හරවන්න. යමෙක් ඔබේ උඩු කබාය ගතහොත්, ඔබේ යටි කබායත් ගන්නට දෙන්න. ඔබෙන් ඉල්ලන හැම කෙනකුට දෙන්න. යමෙක් ඔබ සතු දේ පැහැර ගතහොත් ඒවා ආපසු නො ඉල්ලන්න. අන්‍යයන් ඔබට කෙලෙස සලකනවාට ඔබ කැමති ද ඔබත් එලෙස ම ඔවුනට කරන්න. “ඔබ ප්‍රේම කරන්නේ ඔබට ප්‍රේම කරන අයට පමණක් නම්, ඔබට මොන විපාකයක් ද? මන්ද පව්කරුවෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. ඔබ යහපත කරන්නේ ඔබට යහපත කරන අයට ම නම්, එහි ඇති පලේ කුමක් ද? මන්ද පව්කරුවෝ පවා එය ම කරති. ඔබ ණයට දෙන්නේ ආපසු ගැනීමේ අදහසින් නම් එහි ඇති පලේ කුමක් ද? පව්කරුවෝ පවා සියල්ල ආපසු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පව්කරුවන්ට ණයට දෙති. එනමුත් ඔබේ සතුරනට ප්‍රේම කරන්න; යහපත ම කරන්න. කිසිවක් ආපසු ගන්නා අදහසක් නැතිව ණයට දෙන්න. එවිට ඔබේ ඉටු විපාකය අනර්ඝ වනු ඇත. ඔබ මහෝත්තමයාණන්ගේ පුත්‍රයින් වනු ඇත. මන්ද කළගුණ දන්නේ නැතිවුන්ට හා දුෂ්ටයින්ට උන්වහන්සේ කාරුණික ය. ඔබේ පියාණන්වහන්සේ දයාවන්ත ව සිටින්නා සේ ඔබත් දයාවන්ත වන්න.

ලූක් 6 කියවන්න