ලූක් 6:1-26
ලූක් 6:1-26 SCV
එක් සබත් දිනෙක උන්වහන්සේ කුඹුරු යායක් මැදින් ගමන් ගනිද්දී, උන්වහන්සේගේ ගෝලයෝ ධාන්‍ය කරල් කඩා, අතේ පොඩිකර කෑවෝ ය. එවිට පරිසිවරු ඇතමෙක් ප්‍රශ්න කරමින්, “මොකද ඔබ සබතේදී නීති විරෝධී දෙයක් කරන්නේ?” යි ඇසූහ. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “වරක් තමාටත්, තම සගයින්ටත් කුස ගිනි වූ විට දාවිත් කළ දේ ඔබ කියවා නැද්ද? ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල් ව පූජකයනට විනා, අන් කිසිවකු කෑමට අකැප පිදුම් රොටි ගෙන කා, තම සගයින්ටත් දුන් අයුරු?” යි පැවසූ සේක. තවද උන්වහන්සේ, “මනුෂ්‍ය පුත්‍රයාණෝ සබතේ ද ස්වාමියාණෝ යැ” යි ඔවුන්ට පැවසූ සේක. තවත් සබත් දිනෙක උන්වහන්සේ සිනගෝගයට ඇතුල් ව, උගන්වමින් සිටියදී, දකුණු අත අප්‍රාණික වූ මිනිසෙක් ද එහි විය. උන්වහන්සේට එරෙහිව චෝදනා කරන පිණිස, උන්වහන්සේ සබතේදී සුව කරන්නේදැයි දහම් පඬිවරු හා පරිසිවරු විමසිල්ලෙන් බලා වුන්හ. එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, අත අප්‍රාණික මිනිසාට, “නැගිට ඇවිත් මෙතැන සිටගන්නැ” යි කී සේක. ඔහු නැගිට එතැන සිට ගත්තේ ය. එවිට යේසුස්වහන්සේ, “මා ඔබෙන් අහන්නේ, සබතේ දවසේදී නිත්‍යානුකූල වන්නේ යහපත කිරීම ද? නපුර කිරීම ද? ජීවිතයක් ගැලවීම ද? වැනසීම දැ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක. ඉන්පසු ඔවුන් හැම සිසාරා බැලූ උන්වහන්සේ, ඒ මිනිසා අමතා, “ඔබේ අත දිගු කරන්නැ” යි කී සේක. ඔහු එසේ කළේ ය; එවිට, ඔහුගේ අත මුළුමනින් ප්‍රකෘතිමත් විය. එවිට කෝපයෙන් පිරුණු ඔවුහු, යේසුස්වහන්සේට කුමක් කරන්නේදැයි තමන් අතර සාකච්ඡා කළහ. එදවස්හි යාච්ඤා කරන්නට කන්දට නැගුණු යේසුස්වහන්සේ, රැයක් මුළුල්ලේ දිගට ම දෙවියන්වහන්සේට යාච්ඤා කළ සේක. පහන් වූ කල, තම ගෝලයින් තමන් වෙත කැඳවූ උන්වහන්සේ ඔවුන් අතරින් දොළොස් දෙනකු තෝරා, අපෝස්තුලුවරුන් යයි ඔවුන් හැඳින් වූ සේක. ඔවුහු නම්: උන්වහන්සේ පේතෘස් යන නම් තැබූ සීමොන්, ඔහුගේ සහෝදර අන්දෘ, යාකොබ්, යොහන්, පිලිප්, බර්තොලමෙව්, මතෙව්, තෝමස්, අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්, ජ්වලිතයා යයි නම් ලත් සීමොන්, යාකොබ්ගේ පුත්‍ර යූදස් හා ද්‍රෝහියකු වූ යූදස් ඉස්කාරියොත් ය. උන්වහන්සේ ඔවුන් සමඟ පහළට බැස, තැනිතලා බිමකට ආ සේක. උන්වහන්සේගේ අනුගාමිකයින් විශාල සංඛ්‍යාවක් හා මුළු යුදයෙන් ද යෙරුසලමෙන් ද මුහුදුකරයේ තීර් හා සීදොන් පළාත්වලින් ද ආ අති මහත් ජනකායක් එහි වූහ. ඔවුන් පැමිණ සිටියේ උන්වහන්සේට සවන් දීමට හා තම රෝග සුව කර ගැනීමට ය. අපවිත්‍ර ආත්මවලින් පීඩා විඳි අය ද සුව කරනු ලැබූහ. උන්වහන්සේගෙන් බලය නික්ම, ඔවුන් හැම සුව කළ බැවින් මුළු ජනකාය ම උන්වහන්සේට අත ගසන්නට සෙවූහ. එකල උන්වහන්සේ තම ගෝලයින් දෙස නෙත් හෙළා මෙසේ පැවසූ සේක: “දිළිඳු වූ ඔබ භාග්‍යවන්ත ය, මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය. දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්ත ය, මන්ද ඔබ තෘප්තියට පත් කරනු ලබනු ඇත. දැන් හඬා වැටෙන ඔබ භාග්‍යවත් ය, මන්ද ඔබ සිනාසෙනු ඇත. මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට වෛර කරන කල, ඔවුන් ඔබ බැහැර කරමින්, ඔබට අවමන් කරමින්, ඔබේ නාමය නපුරකැයි හෙළා දකින කල ඔබ භාග්‍යවත් ය. “ඒ දවසේදී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් උඩ පනින්න; මන්ද, මෙන්න! ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. මන්ද ඔවුන්ගේ පියවරුන් දිවැසිවරුනට සැලකුවේ ද එලෙස ම ය. “එනමුත්, ධනවත් ඔබට දුක් වේ; මන්ද ඔබේ සැනසිල්ල ඔබ ලබා ඇත. දැන් සෑහී සිටින ඔබට දුක් වේ: මන්ද ඔබට සාගිනි වනු ඇත. දැන් සිනාසෙන ඔබට දුක් වේ; මන්ද ඔබ හඬනු ඇත; වැලපෙනු ඇත. සියලු දෙනා ඔබගේ ගුණ වණනා කල ඔබට දුක් වේ; මන්ද ඔවුන්ගේ පියවරුන් බොරු දිවැසිවරුන්ට කළේ ද එය ම ය.

