ලූක් 4:1-20

ලූක් 4:1-20 SCV

යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව යොර්දාන් වෙතින් ආපසු පැමිණ, ආත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් පාළුකරයේ ගෙන යනු ලැබ, යක්ෂයා විසින් දවස් හතළිහක් පරීක්ෂා කරනු ලැබූ සේක. එදවස් ඇතුළත උන්වහන්සේ කිසි අහරක් ගත්තේ නැත. එදවස් කෙළවරදී උන්වහන්සේට කුස ගිනි දැනිණි. එවිට යක්ෂයා උන්වහන්සේ අමතමින්, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්, මේ ගල රොටි වන්නට අණ කරන්නැ” යි කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ රොටි පමණකින් නො වේ,’ කියා ලියා තිබේ” යි පැවසූ සේක. එවිට යක්ෂයා, උන්වහන්සේ ඉහළට ගෙන ගොස්, ලොව සියලු රාජ්‍යයන් එක් මොහොතකින් පෙන්වා, “ඔය මුළු ආධිපත්‍යයත්, තේජසත් ඔබට දෙන්නම්; මන්ද ඒවා දී තිබෙන්නේ මට ය; මා කැමති කෙනකුට මම ඒවා දෙන්නෙමි. එබැවින් ඔබ මට නමස්කාර කළොත්, මේ සියල්ල ම ඔබගේ යැ” යි කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පමණක් නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’ කියා ලියා තිබේ” යි කී සේක. එවිට ඔහු යෙරුසලමට උන්වහන්සේ ගෙන ගොස්, දේව මාලිග මුදුනේ උන්වහන්සේ සිටුවා, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මෙතැනින් බිමට පනින්න; මන්ද: “ ‘ඔබ ආරක්ෂා කරන්නට උන්වහන්සේ ස්වකීය දූතයිනට ඔබ ගැන අණ කරනු ඇත’ කියා ද, ‘ඔබගේ පාද ගලක නො වදින ලෙසට ඔවුහු තම අත්වලින් ඔබ උසුලා ගනු ඇත’ කියා ද ලියා ඇතැ” යි කීවේ ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරනු’ යි කියා ඇතැ” යි පැවසූ සේක. මෙසේ සෑම පරීක්ෂාවක් ම නිම කළ යක්ෂයා සුදුසු අවස්ථාවක් එන තෙක් උන්වහන්සේ වෙතින් ඉවත් ව ගියේ ය. ආත්මයාණන්වහන්සේගේ බලයෙන් යුක්ත ව යේසුස්වහන්සේ ගලීලයට යළි ආ කල, උන්වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තිය අවට පෙදෙස් පුරා පැතිරිණි. උන්වහන්සේ සියල්ලන්ගෙන් පැසසුම් ලබමින්, ඔවුන්ගේ සිනගෝගවල ඉගැන් වූ සේක. තමන් හැදී වැඩුණු නාසරෙත් වෙත පැමිණි උන්වහන්සේ සබත් දින සුපුරුදු ලෙස සිනගෝගයට ගිය සේක. කියවීමට උන්වහන්සේ නැගිට සිටගත් කල, දිවැසිවර යෙසායාගේ ලියවිල්ල උන්වහන්සේ අත තබන ලදී. උන්වහන්සේ එය දිග හැර, මෙසේ සඳහන් තැන සොයා ගත් සේක: “ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් මා පිට ය. මන්ද දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්නට උන්වහන්සේ මා ආලේප කළ සේක. සිරකරුවන්ට නිදහස ප්‍රකාශ කරන්නට ද අන්ධයනට පෙනීම ලැබීමට ද පීඩිතයින්ට නිදහස දීමට ද ස්වාමින්වහන්සේගේ ප්‍රසාදයේ වසර ප්‍රකාශ කරන්නට ද උන්වහන්සේ මා එවූ සේක.” ඉන්පසු උන්වහන්සේ ලියවිල්ල අකුළා බාරකරු අතට දී අසුන් ගත් සේක. සිනගෝගයේ සියල්ලන්ගේ ඇස් යොමු වී තිබුණේ උන්වහන්සේ වෙත ය.

ලූක් 4 කියවන්න