ලූක් 3:7-14
ලූක් 3:7-14 SCV
බව්තීස්ම ලබන්නට තමන් වෙත ආ සමූහයා ඇමතූ ඔහු, “එම්බා පොළොං පැටවුනි, පැමිණෙන උදහසින් පලා යන්නට නුඹලාට අවවාද කළේ කවුරු ද? පසුතැවිල්ලට අනුකූල පල උපද්දවනු. ‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්‍රහම් ඉන්නවා ය’ කියන්නට පටන් ගන්න එපා. මන්ද මේ ගල්වලින් වුවත් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවනි. පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක් ම කපා ගින්නෙහි හෙළනු ලැබේ යැ” යි කීවේ ය. එවිට සමූහයා, “එසේ නම් කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ. ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අඳන දෙකක් ඇති තැනැත්තා, නැති කෙනකු හා බෙදා ගනිත්වා. ආහාර ඇති අය ද එසේ ම කරත්වා” යි කීවේ ය. බදු අය කරන්නෝ ද බව්තීස්ම ලබන්නට අවුත්, “ගුරුතුමනි, අප කළ යුත්තේ කුමක් දැ?” යි ඇසූහ. “අනුමත පමණට වඩා බදු අය නො කරනු” යි ඔවුන්ට ඔහු පිළිතුරු දුන්නේ ය. සෙබළු ද ප්‍රශ්න කරමින්, “එතකොට අප? කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ. ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “බලෙන් යමක් පැහැර ගන්න එපා, කිසිවකුට බොරු චෝදනා කරන්න එපා, ලැබෙන වැටුපෙන් සෑහී සිටිනු” යි කීවේ ය.

