ලූක් 24:25-35

ලූක් 24:25-35 SCV

එවිට උන්වහන්සේ ඔවුන් අමතමින්, “අහෝ! බුද්ධි හීන වූත්, දිවැසිවරුන් පැවසූ සියල්ල විශ්වාස කරන්නට ප්‍රමාද වූත් තැනැත්තෙනි, ක්‍රිස්තුස්වහන්සේ ඒ දේවල් විඳ, ඉන්පසු තේජසට පත් වන්නට තිබුණා නො වේ දැ?” යි පවසා, මෝසෙස්ගෙන් හා සියලු දිවැසිවරුන්ගෙන් පටන් ශුද්ධ ලියවිලිවල තමන්වහන්සේ ගැන වූ සියලු දෑ පැහැදිලි කළ සේක. ඔවුහු තමන් යමින් සිටි ගමට ළඟා වූහ. එහෙත් උන්වහන්සේ තවත් දුර යන නියා ඇඟවූ සේක. එවිට ඔවුහු වඩාත් පෙරැත්ත කරමින්, “අප සමඟ නවතින්න. දැන් සවස් වේගන එනවා; දවස හොඳට ම ගෙවී ගොසිනැ” යි කීහ. එබැවින් උන්වහන්සේ ඔවුන් සමඟ නවතින්නට ඇතුළට ගිය සේක. පසුව උන්වහන්සේ ඔවුන් සමඟ කෑමට හිඳ, රොටි ගෙන, ඊට ආශිර්වාද කර, එය කඩා, ඔවුන්ට දුන් සේක. එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔවුහු උන්වහන්සේ හැඳින ගත්හ. එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ දෘෂ්ටියෙන් අතුරුදහන් වූ සේක. එවිට ඔවුහු එකිනෙකා අමතමින්, “උන්වහන්සේ මග එමින් අපට කතා කරමින්, ශුද්ධ ලියවිලි පහදා දෙද්දී අපගේ සිත් දෑවා නො වේ දැ!” යි කීහ. ඔවුහු ඒ පැයේදී ම නැගිට, යෙරුසලමට ආපසු ආහ. එහිදී ඔවුන්ට දක්නට ලැබුණේ එකොළොස් දෙනා හා ඔවුන් සමඟ වූ සෙසු අය එක් රැස් ව, “එය ඇත්තයි! ස්වාමින්වහන්සේ නැවත නැගිටලා. උන්වහන්සේ සීමොන්ට පෙනී ඇතැ” යි කියන අයුරු ය. එවිට ඔවුහු දෙදෙනා ද තමන් ගමන් කරද්දී සිදු වූ දෑ ද රොටි කඩද්දී තමන් උන්වහන්සේ හැඳිනගත් අයුරු ද පැවසූහ.