ලූක් 24:1-43
ලූක් 24:1-43 SCV
තමන් පිළියෙල කර ගත් සුවඳ ද්‍රව්‍ය ද ගෙන, සතියේ පළමු දින අරුණ උදෙන්, සොහොන් ලෙන වෙත ගිය ඔවුහු, ගල ඉවත පෙරළා තිබෙනු දුටහ. ඔවුහු ලෙන තුළට ගිය කල, යේසුස් ස්වාමින්වහන්සේගේ දේහය ඒ තුළ දුටුවේ නැත. ඔවුන් ඒ ගැන වියවුල් ව සිටියදී, මෙන්න! හදිසියේ ම, කාන්තිමත් වස්ත්‍රයෙන් යුතු මිනිසුන් දෙදෙනෙක් ඔවුන් පසෙකින් සිටගෙන! ඉන් බය වූ ඔවුන් තම මුහුණු බිමට නමාගනිද්දී, ඔවුන් ඇමතූ ඒ මිනිස්සු, “නුඹලා මළවුන් අතර ජීවතුන් සොයන්නේ මොකද? උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ නැගුටුණු සේක. උන්වහන්සේ ගලීලයේ සිටියදී නුඹලාට කී දේ මතක් කරන්න. එනම්, ‘මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කාර මිනිසුන්ගේ අත්වලට බාර දෙනු ලබන්නටත්, කුරුසිපත් කරනු ලබන්නටත්, තුන් වන දවසේ නැගිටින්නටත් යුතු ය’ යනුයි” කීහ. එවිට උන්වහන්සේගේ වචන ඔවුන්ට මතක් විණි. සොහොන වෙතින් ආපසු පැමිණි ඔවුහු, සියලු පුවත් එකොළොස් දෙනාටත්, අනෙක් සැමටත් සැල කළහ. අපෝස්තුලුවරුනට මේ දෑ කීවේ, මග්දලායේ මරියා, යොවන්නා, යාකොබ්ගේ මව වූ මරියා හා ඔවුන් සමඟ සිටි අනෙක් ස්ත්‍රීන් ය. එහෙත් ඒ ස්ත්‍රීන් කී දේ ඔවුන් විශ්වාස කළේ නැත. ඒ කියමන් ඔවුන්ට පෙනුණේ හිස් ප්‍රලාප ලෙසිනි. එහෙත් පේතෘස් සොහොන වෙත දුව ගොස්, එබී බලා, හණ රෙදි වෙළුම පමණක් පසෙක තිබෙනු දැක, කුමක් සිදු වී දැයි පුදුමයෙන් ආපසු ගියේ ය. එදින ම ඔවුන්ගෙන් දෙදෙනෙක් යෙරුසලමේ සිට කිලෝමීටර් එකොළහක පමණ දුරින් පිහිටි එම්මාවුස් නම් ගමට යමින් සිටියහ. ඔවුන් ගමන් කළේ සිදු වූ හැම සිදුවීමක් ගැන කතා කරමිනි. මෙසේ ඔවුන් කතා කරමින්, සාකච්ඡා කරමින් යද්දී යේසුස්වහන්සේ ඔවුන් වෙත ළඟා වී, ඔවුන් සමඟ ගමන් ගත් සේක. එහෙත් උන්වහන්සේ හැඳින ගැනීම ඔවුන්ගේ ඇස්වලින් වළක්වා තිබිණි. “ඔබ මේ ගමන් කරන අතරේ කතා කරමින් යන්නේ කුමක් ගැන දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔවුහු දුක්බර මුහුණින් නිශ්චල ව නැවතුණහ; ඒ දෙදෙනාගෙන් ක්ලියොපස් නැමැත්තා පිළිතුරු දෙමින්, “මේ දවස්වල යෙරුසලමේ සිදුවන දෑ ගැන නො දැන සිටින එක ම ආගන්තුකයා ඔබ දැ?” යි ඇසී ය. “මොන සිදුවීම් දැ?” යි උන්වහන්සේ ඇසූ සේක. ඔවුහු කතා කරමින්, “ඇයි, නාසරෙත්හි යේසුස්වහන්සේ ගැන; එතුමා දෙවියන්වහන්සේ හා මුළු ජනතාව ඉදිරියේ ක්‍රියාවෙන් හා වචනයෙන් බලවත් ව සිටි දිවැසිවරයෙක්. අපේ නායක පූජකයෝ හා පාලකයෝ මරණ දඬුවමට එතුමා පාවා දී, කුරුසියේ ඇණ ගැසුවා. එහෙත් අපේ බලාපොරොත්තුව වූයේ ඉශ්රායෙල් ගලවා ගන්නට සිටියේ මෙතුමාණන් කියායි. ඒ හැම දේට වඩා මේ දෑ සිදු වී අදට දවස් තුනයි. ඒ හැර අපේ කණ්ඩායමේ ස්ත්‍රීන් කිහිප දෙනෙක් අද අප පුදුමයට පත් කළා; උදේ පාන්දරින් ම ඔවුන් සොහොන වෙත ගිය නමුත්, එතුමන්ගේ සිරුර එහිදී ඔවුන්ට හමු වී නැහැ. ඔවුන් ආපසු පැමිණ අපට කීවේ, එතුමාණන් ජීවත් වන්නේ යයි පැවසූ දේව දූතයින් ඔවුන්ට දර්ශන වූ බවයි. එවිට අප සමඟ සිටි කීප දෙනෙක් සොහොන වෙත ගිය විට, හරියට ම ඒ ස්ත්‍රීන් කී ලෙස ම දැක ඇති නමුත් එතුමාණන් දකින්නට ලැබී නැතැ” යි පැවසූහ. එවිට උන්වහන්සේ ඔවුන් අමතමින්, “අහෝ! බුද්ධි හීන වූත්, දිවැසිවරුන් පැවසූ සියල්ල විශ්වාස කරන්නට ප්‍රමාද වූත් තැනැත්තෙනි, ක්‍රිස්තුස්වහන්සේ ඒ දේවල් විඳ, ඉන්පසු තේජසට පත් වන්නට තිබුණා නො වේ දැ?” යි පවසා, මෝසෙස්ගෙන් හා සියලු දිවැසිවරුන්ගෙන් පටන් ශුද්ධ ලියවිලිවල තමන්වහන්සේ ගැන වූ සියලු දෑ පැහැදිලි කළ සේක. ඔවුහු තමන් යමින් සිටි ගමට ළඟා වූහ. එහෙත් උන්වහන්සේ තවත් දුර යන නියා ඇඟවූ සේක. එවිට ඔවුහු වඩාත් පෙරැත්ත කරමින්, “අප සමඟ නවතින්න. දැන් සවස් වේගන එනවා; දවස හොඳට ම ගෙවී ගොසිනැ” යි කීහ. එබැවින් උන්වහන්සේ ඔවුන් සමඟ නවතින්නට ඇතුළට ගිය සේක. පසුව උන්වහන්සේ ඔවුන් සමඟ කෑමට හිඳ, රොටි ගෙන, ඊට ආශිර්වාද කර, එය කඩා, ඔවුන්ට දුන් සේක. එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔවුහු උන්වහන්සේ හැඳින ගත්හ. එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ දෘෂ්ටියෙන් අතුරුදහන් වූ සේක. එවිට ඔවුහු එකිනෙකා අමතමින්, “උන්වහන්සේ මග එමින් අපට කතා කරමින්, ශුද්ධ ලියවිලි පහදා දෙද්දී අපගේ සිත් දෑවා නො වේ දැ!” යි කීහ. ඔවුහු ඒ පැයේදී ම නැගිට, යෙරුසලමට ආපසු ආහ. එහිදී ඔවුන්ට දක්නට ලැබුණේ එකොළොස් දෙනා හා ඔවුන් සමඟ වූ සෙසු අය එක් රැස් ව, “එය ඇත්තයි! ස්වාමින්වහන්සේ නැවත නැගිටලා. උන්වහන්සේ සීමොන්ට පෙනී ඇතැ” යි කියන අයුරු ය. එවිට ඔවුහු දෙදෙනා ද තමන් ගමන් කරද්දී සිදු වූ දෑ ද රොටි කඩද්දී තමන් උන්වහන්සේ හැඳිනගත් අයුරු ද පැවසූහ. ඔවුන් මේ දෑ ගැන කතා කරමින් සිටියදී, යේසුස්වහන්සේ ඔවුන් මැද සිටගෙන, “ඔබට සාමය වේවා!” යි කී සේක. තමන් අවතාරයක් දකිතැයි සිතූ ඔවුහු ත්රාසයටත්, භීතියටත් පත් වූහ. උන්වහන්සේ ඔවුන් අමතමින්, “මොකද ඔබ කැලඹිලා? ඔබේ සිත්වල සැකයක් නැගෙන්නේ ඇයි? බලන්න, මගේ අත් හා මගේ පාද; සැබවින් ම මේ මමයි. මා ස්පර්ශ කර බලන්න. මන්ද ඔබට පෙනෙන පරිදි, මස් හා ඇට මට තියෙන ලෙස, අවතාරයකට ඒවා නැතැ” යි පැවසූ සේක. එසේ පැවසූ උන්වහන්සේ තම අත් හා පා ඔවුන්ට පෙන් වූ සේක. ප්‍රීතිය නිසා තවමත් විශ්වාස කළ නො හැකි ව, ඔවුන් විස්මයෙන් සිටියදී, උන්වහන්සේ ඔවුන් අමතමින්, “කෑමට යමක් මෙහි ඔබ ළඟ තියෙනවා දැ?” යි ඇසූ සේක. පුලුස්සන ලද මාළු කැබැල්ලක් ඔවුහු උන්වහන්සේට දුන්හ. උන්වහන්සේ එය ගෙන, ඔවුන් ඉදිරියේ ම කෑ සේක.


