ලූක් 23:6-12

ලූක් 23:6-12 SCV

ඒ ඇසූ පිලාත් ඒ මනුෂ්‍යයා ගලීලයෙක් දැයි ඇසී ය. උන්වහන්සේ අයත් වන්නේ, හෙරෝද්ගේ අධිකරණ වසමට බැව් දැනගත් පිලාත් හෙරෝද් වෙත උන්වහන්සේ යැවී ය. ඔහු ඒ දවස්වල සිටියේ යෙරුසලම්හි ය. යේසුස්වහන්සේ දුටු හෙරෝද් බෙහෙවින් සතුටු විය. මන්ද උන්වහන්සේ දැකීමට කලෙක පටන් ඔහු ආශාවෙන් සිටියේ ය. උන්වහන්සේ පිළිබඳව අසා තිබූ දෑ අනුව උන්වහන්සේ යම් හාස්කමක් කරනු දැකීමට ඔහු බලාපොරොත්තුව සිටියේ ය. ඔහු උන්වහන්සේගෙන් කොතෙකුත් ප්‍රශ්න කළ නමුත්, උන්වහන්සේ කිසි පිළිතුරක් නො දුන් සේක. නායක පූජකවරු හා දහම් පඬිවරු පසෙක සිටගෙන, උන්වහන්සේට විරුද්ධ ව තදබල චෝදනා කළහ. එවිට හෙරෝද් හා ඔහුගේ හේවායෝ යේසුස්වහන්සේ හෑල්ලු කොට සලකා, උන්වහන්සේට නිග්‍රහ කොට, සමච්චල් කළහ. පසුව ඔහු උන්වහන්සේට දිළිසෙන ලෝගුවක් අඳවා, යළි පිලාත් වෙත පිටත් කර හැරියේ ය. කලක් එකිනෙකාට සතුරු ව සිටි හෙරෝද් හා පිලාත් ඒ දවසේ ම මිත්‍ර වූහ.