ලූක් 23:26-38

ලූක් 23:26-38 SCV

ඔවුහු උන්වහන්සේ පිටතට ගෙන යද්දී, ගම්බද සිට එමින් සිටි සිරේනියානු සීමොන් අල්ලා, කුරුසිය ඔහු පිට තබා, යේසුස්වහන්සේ පසුපසින් එය උසුලාගෙන යෑමට සැලැස්සූහ. විශාල ජනකායක් ද උන්වහන්සේ ගැන හඬා වැලපුණු ස්ත්‍රීහු ද උන්වහන්සේ පසු පස ගියහ. යේසුස්වහන්සේ ඔවුන් දෙස හැරී, “යෙරුසලමේ දූවරුනි, මා නිසා නො හඬන්න; ඔබ නිසාත්, ඔබේ දරුවන් නිසාත් හඬන්න. මන්ද ‘වඳ ස්ත්‍රීන් ද දරුවන් නො දැරූ කුස ද කිරි නො පෙවූ පියයුරු ද ආශිර්වාදිත ය!’ කියන දවස් උදා වනු ඇත. එවිට “ ‘ඔවුහු, “අප පිට වැටෙනු!” කියා කඳුවලට ද “අප වසා ගනු!” යි හෙල්වලට ද කියනු ඇත.’ මන්ද ඔවුහු අමු ගහට මෙසේ කළෝ නම්, වියළි ගහට කෙසේ කරනු ඇද්දැ?” යි පැවසූ සේක. අපරාධකරුවන් වූ තවත් මිනිසුන් දෙදෙනෙක් ද මරා දමන පිණිස, උන්වහන්සේ සමඟ ගෙන යන ලදහ. හිස්කබල නම් ස්ථානයට පැමිණි ඔවුහු, එහිදී උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූහ. අපරාධකරුවන් දෙදෙනා ද එක් කෙනෙක් උන්වහන්සේගේ දකුණු පස ද අනෙකා උන්වහන්සේගේ වම් පස ද කුරුසිපත් කරන ලදහ. එවිට යේසුස්වහන්සේ, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනවි. මන්ද තමන් කරන්නේ කුමක් දැයි ඔවුහු නො දනිති” යි පැවසූ සේක. උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගන්නට ඔවුහු පස ඇට දැමූහ. උන්වහන්සේ එල්ලා සිටින අයුරු ජනයා බලා සිටියහ. එහෙත් ප්‍රධානීහු උන්වහන්සේට ගැරහුම් කරමින්, “ඔහු අනුන් ගැලෙව්වා. ඔහු දෙවියන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ නම්, උන්වහන්සේගේ තෝරාගත් තැනැත්තා නම්, ඔහු තමා ම ගලවා ගනීවා!” යි කීහ. හේවායෝ ද අවුත්, මිදි යුෂ-විනාකිරි පිළිගන්වමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්, “නුඹ යුදෙව්වන්ගේ රජ නම් නුඹ ම ගලවා ගනින්” යැයි කීහ. උන්වහන්සේගේ හිසට ඉහළින් මෙසේ සඳහන් නාම පුවරුවක් විය. යුදෙව්වන්ගේ රජු මොහු ය.