ලූක් 23:13-25

ලූක් 23:13-25 SCV

නායක පූජකයින්, ජන ප්‍රධානීන් හා සෙසු ජනයා රැස් කර වූ පිලාත්, ඔවුන් අමතමින්, “නුඹලා මේ මිනිහා මා වෙත ගෙනාවේ ජනයා නොමගට පොළඹවන්නෙක් ය කියායි. නුඹලා ඉදිරිපිට ම ඔහු විභාග කිරීමෙන්, ඔහුට එරෙහිව නුඹලා නගන චෝදනාවලට ඔහු වරදකරුවෙකැයි මට පෙනෙන්නේ නෑ. හෙරෝද්ට ද එහෙම පෙනෙන්නේ නෑ; මේ මිනිසා නැවත අප වෙත එවා ඇත්තේ එනිසයි. පෙනෙනවා ද! මරණ දඬුවමට තරම් වරදක් ඔහු කර නෑ. එනිසා ඔහුට දඬුවම් කර, මා ඔහු නිදහස් කරනවා” යි කීවේ ය. ඒ මංගල්‍යයේදී ඔහු විසින් එක් සිරකරුවකු නිදහස් කර දෙන සිරිතක් විය. එවිට ඔවුහු එක් හඬින් මොර ගසමින්, “මේ මිනිහා තුරන් කරනු. අපට බරබ්බස් නිදහස් කර දෙනු!” යි හඬ නැගූහ. (මෙම බරබ්බස් නගරයෙහි වූ කැරලි ගැසීමක් හා මිනී මැරීමක් සම්බන්ධ ව සිරගත කරන ලද්දෙකි.) යේසුස්වහන්සේ නිදහස් කිරීමට කැමැත්තෙන් පිලාත් නැවතත් පිරිස ඇමතී ය. එහෙත් ඔවුහු, “කුරුසියේ ඇණ ගසනු! ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි කෑ ගැසූහ. පිලාත් තුන් වන වරටත් ඔවුන්ට කතා කරමින්, “කිමෙක් ද? මොහු මොන අපරාධයක් කළාට ද? මරණයට සුදුසු අපරාධයක් ඔහු අත මට හමු වුණේ නෑ. එබැවින් මම ඔහුට දඬුවම් කර, ඔහු නිදහස් කරනවා” යි කීවේ ය. එහෙත් ඔවුහු වඩ වඩා හඬ නගමින්, උන්වහන්සේ කුරුසිපත් කරන්නට බල කළහ. ඔවුන්ගේ ඝෝෂාවට ජය අත්විණි. ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට පිලාත් තීරණය කළේ ය. කැරලි ගැසීමට හා මිනී මැරීමට සිරගත කර සිටි මිනිසා ඔවුන්ගේ ඉල්ලීම අනුව නිදහස් කළ පිලාත්, ඔවුන්ගේ කැමැත්තට යේසුස්වහන්සේ පාවා දුන්නේ ය.