ඉන්පසු ඔවුන්ගේ මුළු සමූහයා නැගිට, පිලාත් වෙත උන්වහන්සේ ගෙන ගියහ. එහිදී ඔවුහු උන්වහන්සේට විරුද්ධ ව චෝදනා කරමින්, “මේ මිනිහා අපේ ජාතිය නොමග යවන බවත්, සීසර්ට බදු ගෙවීම අපට තහනම් කරන වගත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක්ය කියා ගන්නා බවත් අප දැන ගත්තා” යි කීහ.
පිලාත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි ඇසුවේ ය.
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ එසේ කියන්නෙහි යැ” යි කී සේක.
එවිට පිලාත් නායක පූජකයින් හා සමූහයා අමතා, “මේ මිනිහා අත වරදක් මට නො පෙනේ යැ” යි ප්‍රකාශ කළේ ය.
එහෙත් ඔවුහු උදක් ම බල කරමින්, “ඔහු ගලීලයේ සිට මෙතැන් දක්වා මුළු යුදය පුරා උගන්වමින් ජනයා කලඹවතැ” යි කීහ.
ඒ ඇසූ පිලාත් ඒ මනුෂ්‍යයා ගලීලයෙක් දැයි ඇසී ය. උන්වහන්සේ අයත් වන්නේ, හෙරෝද්ගේ අධිකරණ වසමට බැව් දැනගත් පිලාත් හෙරෝද් වෙත උන්වහන්සේ යැවී ය. ඔහු ඒ දවස්වල සිටියේ යෙරුසලම්හි ය.
යේසුස්වහන්සේ දුටු හෙරෝද් බෙහෙවින් සතුටු විය. මන්ද උන්වහන්සේ දැකීමට කලෙක පටන් ඔහු ආශාවෙන් සිටියේ ය. උන්වහන්සේ පිළිබඳව අසා තිබූ දෑ අනුව උන්වහන්සේ යම් හාස්කමක් කරනු දැකීමට ඔහු බලාපොරොත්තුව සිටියේ ය. ඔහු උන්වහන්සේගෙන් කොතෙකුත් ප්‍රශ්න කළ නමුත්, උන්වහන්සේ කිසි පිළිතුරක් නො දුන් සේක. නායක පූජකවරු හා දහම් පඬිවරු පසෙක සිටගෙන, උන්වහන්සේට විරුද්ධ ව තදබල චෝදනා කළහ. එවිට හෙරෝද් හා ඔහුගේ හේවායෝ යේසුස්වහන්සේ හෑල්ලු කොට සලකා, උන්වහන්සේට නිග්‍රහ කොට, සමච්චල් කළහ. පසුව ඔහු උන්වහන්සේට දිළිසෙන ලෝගුවක් අඳවා, යළි පිලාත් වෙත පිටත් කර හැරියේ ය. කලක් එකිනෙකාට සතුරු ව සිටි හෙරෝද් හා පිලාත් ඒ දවසේ ම මිත්‍ර වූහ.
නායක පූජකයින්, ජන ප්‍රධානීන් හා සෙසු ජනයා රැස් කර වූ පිලාත්, ඔවුන් අමතමින්, “නුඹලා මේ මිනිහා මා වෙත ගෙනාවේ ජනයා නොමගට පොළඹවන්නෙක් ය කියායි. නුඹලා ඉදිරිපිට ම ඔහු විභාග කිරීමෙන්, ඔහුට එරෙහිව නුඹලා නගන චෝදනාවලට ඔහු වරදකරුවෙකැයි මට පෙනෙන්නේ නෑ. හෙරෝද්ට ද එහෙම පෙනෙන්නේ නෑ; මේ මිනිසා නැවත අප වෙත එවා ඇත්තේ එනිසයි. පෙනෙනවා ද! මරණ දඬුවමට තරම් වරදක් ඔහු කර නෑ. එනිසා ඔහුට දඬුවම් කර, මා ඔහු නිදහස් කරනවා” යි කීවේ ය. ඒ මංගල්‍යයේදී ඔහු විසින් එක් සිරකරුවකු නිදහස් කර දෙන සිරිතක් විය.
එවිට ඔවුහු එක් හඬින් මොර ගසමින්, “මේ මිනිහා තුරන් කරනු. අපට බරබ්බස් නිදහස් කර දෙනු!” යි හඬ නැගූහ. (මෙම බරබ්බස් නගරයෙහි වූ කැරලි ගැසීමක් හා මිනී මැරීමක් සම්බන්ධ ව සිරගත කරන ලද්දෙකි.)
යේසුස්වහන්සේ නිදහස් කිරීමට කැමැත්තෙන් පිලාත් නැවතත් පිරිස ඇමතී ය. එහෙත් ඔවුහු, “කුරුසියේ ඇණ ගසනු! ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි කෑ ගැසූහ.
පිලාත් තුන් වන වරටත් ඔවුන්ට කතා කරමින්, “කිමෙක් ද? මොහු මොන අපරාධයක් කළාට ද? මරණයට සුදුසු අපරාධයක් ඔහු අත මට හමු වුණේ නෑ. එබැවින් මම ඔහුට දඬුවම් කර, ඔහු නිදහස් කරනවා” යි කීවේ ය.
එහෙත් ඔවුහු වඩ වඩා හඬ නගමින්, උන්වහන්සේ කුරුසිපත් කරන්නට බල කළහ. ඔවුන්ගේ ඝෝෂාවට ජය අත්විණි. ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට පිලාත් තීරණය කළේ ය. කැරලි ගැසීමට හා මිනී මැරීමට සිරගත කර සිටි මිනිසා ඔවුන්ගේ ඉල්ලීම අනුව නිදහස් කළ පිලාත්, ඔවුන්ගේ කැමැත්තට යේසුස්වහන්සේ පාවා දුන්නේ ය.
ඔවුහු උන්වහන්සේ පිටතට ගෙන යද්දී, ගම්බද සිට එමින් සිටි සිරේනියානු සීමොන් අල්ලා, කුරුසිය ඔහු පිට තබා, යේසුස්වහන්සේ පසුපසින් එය උසුලාගෙන යෑමට සැලැස්සූහ. විශාල ජනකායක් ද උන්වහන්සේ ගැන හඬා වැලපුණු ස්ත්‍රීහු ද උන්වහන්සේ පසු පස ගියහ. යේසුස්වහන්සේ ඔවුන් දෙස හැරී, “යෙරුසලමේ දූවරුනි, මා නිසා නො හඬන්න; ඔබ නිසාත්, ඔබේ දරුවන් නිසාත් හඬන්න. මන්ද ‘වඳ ස්ත්‍රීන් ද දරුවන් නො දැරූ කුස ද කිරි නො පෙවූ පියයුරු ද ආශිර්වාදිත ය!’ කියන දවස් උදා වනු ඇත.