ලූක් 23:1-12

ලූක් 23:1-12 SCV

ඉන්පසු ඔවුන්ගේ මුළු සමූහයා නැගිට, පිලාත් වෙත උන්වහන්සේ ගෙන ගියහ. එහිදී ඔවුහු උන්වහන්සේට විරුද්ධ ව චෝදනා කරමින්, “මේ මිනිහා අපේ ජාතිය නොමග යවන බවත්, සීසර්ට බදු ගෙවීම අපට තහනම් කරන වගත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක්ය කියා ගන්නා බවත් අප දැන ගත්තා” යි කීහ. පිලාත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි ඇසුවේ ය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ එසේ කියන්නෙහි යැ” යි කී සේක. එවිට පිලාත් නායක පූජකයින් හා සමූහයා අමතා, “මේ මිනිහා අත වරදක් මට නො පෙනේ යැ” යි ප්‍රකාශ කළේ ය. එහෙත් ඔවුහු උදක් ම බල කරමින්, “ඔහු ගලීලයේ සිට මෙතැන් දක්වා මුළු යුදය පුරා උගන්වමින් ජනයා කලඹවතැ” යි කීහ. ඒ ඇසූ පිලාත් ඒ මනුෂ්‍යයා ගලීලයෙක් දැයි ඇසී ය. උන්වහන්සේ අයත් වන්නේ, හෙරෝද්ගේ අධිකරණ වසමට බැව් දැනගත් පිලාත් හෙරෝද් වෙත උන්වහන්සේ යැවී ය. ඔහු ඒ දවස්වල සිටියේ යෙරුසලම්හි ය. යේසුස්වහන්සේ දුටු හෙරෝද් බෙහෙවින් සතුටු විය. මන්ද උන්වහන්සේ දැකීමට කලෙක පටන් ඔහු ආශාවෙන් සිටියේ ය. උන්වහන්සේ පිළිබඳව අසා තිබූ දෑ අනුව උන්වහන්සේ යම් හාස්කමක් කරනු දැකීමට ඔහු බලාපොරොත්තුව සිටියේ ය. ඔහු උන්වහන්සේගෙන් කොතෙකුත් ප්‍රශ්න කළ නමුත්, උන්වහන්සේ කිසි පිළිතුරක් නො දුන් සේක. නායක පූජකවරු හා දහම් පඬිවරු පසෙක සිටගෙන, උන්වහන්සේට විරුද්ධ ව තදබල චෝදනා කළහ. එවිට හෙරෝද් හා ඔහුගේ හේවායෝ යේසුස්වහන්සේ හෑල්ලු කොට සලකා, උන්වහන්සේට නිග්‍රහ කොට, සමච්චල් කළහ. පසුව ඔහු උන්වහන්සේට දිළිසෙන ලෝගුවක් අඳවා, යළි පිලාත් වෙත පිටත් කර හැරියේ ය. කලක් එකිනෙකාට සතුරු ව සිටි හෙරෝද් හා පිලාත් ඒ දවසේ ම මිත්‍ර වූහ.

ලූක් 23:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය