ලූක් 22:7-62

ලූක් 22:7-62 SCV

පාස්කු බැටළුවා පූජා කළ යුතු වූ නුමුහුන් රොටි උළෙලේ දිනය උදා විය. යේසුස්වහන්සේ පේතෘස් හා යොහන් පිටත් කර යවමින්, “අපත් එය අනුභව කරන පිණිස, ගොසින්, අප උදෙසා පාස්කුව පිළියෙල කරන්නැ” යි කී සේක. එවිට ඔවුහු, “ඔබට උවමනා අප එය කොතැන පිළියෙල කරනවාට දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔන්න, නගරයට ඔබ ඇතුළු වූ කල, වතුර කළයක් ගෙන යන මිනිසකු ඔබට හමුවේවි. ඔහු පසු පස ගොස්, ඔහු යන ගෙදරට ඇතුල් ව, ගෙහිමියාට කතා කොට, ‘මගේ ගෝලයින් සමඟ පාස්කු භෝජනය වැළඳිය හැකි ආගන්තුක ශාලාව කොතැන ද කියා ගුරුතුමා ඔබෙන් අසති’ යි කියන්න. එවිට ගෘහ භාණ්ඩ සහිත විශාල උඩු මහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත; එහි පිළියෙල කරන්නැ” යි කී සේක. ඔවුහු පිටත් ව, යේසුස්වහන්සේ දැන් වූ ලෙසින් ම සම්භ වූයෙන්, පාස්කුව එහි පිළියෙල කළෝ ය. පැය පැමිණි කල, උන්වහන්සේ තම අපෝස්තුලුවරුන් සමඟ මේසයට හිඳගත් සේක. උන්වහන්සේ ඔවුන් අමතමින්, “මා වධ විඳීමට කලින් ඔබ සමඟ මේ පාස්කුව වළඳන්නට මම අතිශයෙන් ම ආශා වූයෙමි. මන්ද මා ඔබට කියන්නම්; දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි එය සම්පූර්ණ වන තෙක් මා එය වළඳන්නේ නැතැ” යි පැවසූ සේක. උන්වහන්සේ කුසලානක් ලැබ, ස්තුතිය පුදා, “මෙය ගෙන, ඔබ අතරේ බෙදා ගන්න. දෙවියන්වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තෙක්, මෙතැන් පටන් මා මිදි වැලේ පලයෙන් පානය නො කරන බැව් ඔබට කියමි” යි පැවසූ සේක. උන්වහන්සේ රොටි ගෙන, ස්තුති දී, එය කඩා, ඔවුන්ට බෙදා දී, “මේ ඔබ උදෙසා දෙනු ලබන මගේ ශරීරයයි; මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ” යි පැවසූ සේක. එලෙස ම භෝජනයෙන් පසු උන්වහන්සේ කුසලාන ගෙන, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මගේ ලෙයින් වන අලුත් ගිවිසුමයි. එහෙත් මෙන්න! මා පාවා දෙන්නාගේ අත මා සමඟ මේ මේසයේ ම. මන්ද තීන්දු කර තිබූ පරිදි මනුෂ්‍ය පුත්‍රයා තම ගමන යන්නේ ය. එහෙත් උන්වහන්සේ පාවා දෙන මිනිසාට වන විපතක මහත!” යැයි පැවසූ සේක. එය කරන්නට යන්නේ තමන් අතරින් කවුරුන්දෝයි ඔවුන් එකිනෙකා ප්‍රශ්න කරන්නට වන්හ. තමන් අතරින් වඩාත් උත්තමයා ලෙස සැලකිය යුත්තේ කවුරුදැයි ඔවුන් අතරේ විවාදයක් ඇති විය. උන්වහන්සේ ඔවුන් අමතමින්, “අන්‍ය-ජාතීන්ගේ රජවරු තම වැසියන්ට අධිපතිකම් පාති. ඔවුන්ට අධිපතිකම් දක්වන්නවුන් අනුග්‍රාහකයෝ යයි අමතනු ලබති. එහෙත් ඔබ අතරේ එසේ නො වේ; ඔබ අතරේ වඩා උත්තමයා, බාලයා මෙන් ද නායකයා, සේවය කරන්නා මෙන් ද විය යුතුයි; මන්ද වඩා උතුම් කවුරු ද? කෑමට හිඳ සිටින තැනැත්තා ද? ආවතේව කරන තැනැත්තා ද? කෑමට හිඳ සිටින්නා ම නො වේ ද? එහෙත් ඔබ අතරේ මම සේවය කරන්නා මෙන් වෙමි. මගේ පරීක්ෂාවලදී මා සමඟ සිටියේ ඔබයි. මගේ පියාණන්වහන්සේ මට රාජ්‍යයක් පැවරූ ලෙස, මමත් ඔබට රාජ්‍යයක් පවරන්නෙමි. ඒ, මගේ රාජ්‍යයේ මා හා එක මේසයේ ආහාර පාන භුක්ති විඳින පිණිස හා ඉශ්‍රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින්, මගේ රාජ්‍යයේ සිංහාසන මත හිඳ ගන්නා පිණිස ය. “සීමොන්, සීමොන්, ඔන්න! ධාන්‍ය පොළන්නාක් මෙන් නුඹලා පොළන්නට සාතන් ඉල්ලුවා. එහෙත් නුඹේ ඇදහිල්ල නැති වී නො යන පිණිස, ඔබ උදෙසා මා යාච්ඤා කළා; ඔබ නැවත ආපසු හැරුණාම, ඔබේ සහෝදරයින් ශක්තිමත් කරන්නැ” යි පැවසූ සේක. පේතෘස් කතා කරමින්, “ස්වාමිනි ඔබ සමඟ හිරේ යන්නටත්, මැරෙන්න යන්නටත් මා සූදානම්” යැයි උන්වහන්සේට කීවේ ය. යේසුස්වහන්සේ කතා කරමින්, “පේතෘස්, මා ඔබට කියන්නම්, ඔබ මා හඳුනන්නේ නැතැයි තුන් වතාවක් ම කියන තුරු අද දවසේ කුකුළා හඬලන්නේ නැතැ” යි පැවසූ සේක. උන්වහන්සේ කතා කරමින්, “මුදල් පසුම්බියක්වත්, ගමන් මල්ලක්වත්, පාවහන්වත් නැතිව මා ඔබ පිටත් කර යැවූ විට, ඔබට කිසි හිඟයක් වී දැ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නැතැ” යි ඔවුහු කීහ. උන්වහන්සේ කතා කරමින්, “එහෙත් දැන්, ඔබට පසුම්බියක් ඇත්නම් එය ගන්න. මල්ලක් ඇත්නම් එය ද ගන්න. ඔබට කඩුවක් නැති නම්, ඔබේ සළුව විකුණා ඉන් කඩුවක් මිල දී ගන්න. මන්ද මා ඔබට කියන්නේ, ‘උන්වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබූ සේක’ කියා ලියා තිබෙන ශුද්ධ ලියවිල්ල මා සම්බන්ධ ව ඉටු විය යුතු බවයි. මන්ද මා ගැන ලියවී ඇති දෑ සම්පූර්ණ වේ යැ” යි පැවසූ සේක. “ස්වාමිනි මේ බලන්න; කඩු දෙකක් ම මෙහි තියෙනවා” යි ඔවුහු කීහ. “ඒ සෑහේ යැ” යි උන්වහන්සේ ඔවුන්ට පැවසූ සේක. උන්වහන්සේ පිටතට අවුත්, පුරුදු පරිදි ඔලීව කන්දට ගිය සේක. ගෝලයෝ උන්වහන්සේ අනුව ගියහ. එතැනට පැමිණි උන්වහන්සේ, ගෝලයින් අමතා, “පරීක්ෂාවට නො වැටෙන පිණිස යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක. ගලක් වීසි කළ හැකි දුරක් ඔවුන් වෙතින් ඈත් වූ උන්වහන්සේ දණ ගසා යාච්ඤා කරමින්, “පියාණෙනි, ඔබවහන්සේ කැමති සේක් නම්, මේ කුසලාන මගෙන් ඉවත් කළ මැනව; එහෙත් මගේ කැමැත්ත නො ව, ඔබගේ කැමැත්ත කරනු ලැබේවා!” යි පැවසූ සේක. එවිට දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී උන්වහන්සේ ශක්තිමත් කළේ ය. සිත් සන්තාපයෙන් යුතු ව උන්වහන්සේ වඩාත් ලැදියාවෙන් යාච්ඤා කළ සේක්, උන්වහන්සේගේ ඩාදිය මහත් ලේ බිඳු මෙන් බිම ඇද හැලිණි. යාච්ඤාවෙන් නැගිට, ගෝලයින් වෙත පැමිණි උන්වහන්සේ ඔවුන් ශෝකයෙන් බර ව නිදා සිටිනු දුටු සේක. ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ නිදා සිටින්නේ ඇයි? පරීක්ෂාවට නො වැටෙන පිණිස, නැගිට, යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක. උන්වහන්සේ එසේ කියද්දී, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් නම් මිනිසා පෙරමුණ ගත් සමූහයක් එහි ආහ. යේසුස්වහන්සේ සිපගන්නා පිණිස ඔහු උන්වහන්සේට ළං වූයේ ය. එහෙත් යේසුස්වහන්සේ ඔහු අමතමින්, “යූදස්, නුඹ මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන්නේ සිඹීමෙන් දැ?” යි ඇසූ සේක. සිදු වන්නට යන්නේ කුමක් දැයි දුටු උන්වහන්සේ වටා සිටි අය, “ස්වාමිනි, අපි කඩුවෙන් පහර දෙන්න දැ?” යි ඇසූහ. එවිට ඔවුන්ගෙන් කෙනෙක්, උත්තම පූජකයාගේ දාසයාගේ දකුණු කන කැපෙන්නට ගැසී ය. එවිට, “තවත් එපා!” යි කී යේසුස්වහන්සේ ඔහුගේ කන ස්පර්ශ කර, එය සුව කළ සේක. තමන්ට එරෙහිව පැමිණි නායක පූජකයින්, දේව මාලිග නිලධාරීන් හා වැඩිහිටියන් ඇමතූ යේසුස්වහන්සේ, “මංකොල්ලකරුවකුට එරෙහිව මෙන් නුඹලා කඩු මුගුරු අරන් ආවා ද? මා දිනපතා දේව මාලිගයේ නුඹලා සමඟ සිටියදී, නුඹලා මා පිට අත් හෙළුවේ නෑ. ඒත්, මේ නුඹලාගේ පැයයි. අන්ධකාරයේ බලයයි” කී සේක. ඔවුහු උන්වහන්සේ අල්ලා, පිටතට ගෙන යමින්, උත්තම පූජක මැදුර වෙත උන්වහන්සේ ගෙන ගියහ. පේතෘස් මදක් දුරින් ඒ පසුපසින් ගියේ ය. ඔවුහු පූජක මැදුරු මළුව මැද ගිනි මැලයක් දල්වා, ඒ වටා එක් ව හිඳ සිටියදී, පේතෘස් ද ඔවුන් අතර හිඳ ගත්තේ ය. ඔහු එහි හිඳ සිටිනු ගිනි එළියට දුටු එක් සේවිකාවක් ඔහු දෙස ළං වී බලා, “මේ මිනිහත් ඔහු සමඟ සිටියා” යි කීවා ය. එහෙත් ඒ කීම ප්‍රතික්ෂේප කළ පේතෘස්, “ස්ත්‍රිය, මම ඔහු අඳුනන්නේ නැහැ” යි කීවේ ය. මද වේලාවකට පසු තවත් කෙනෙක් ඔහු දැක, “නුඹත් ඔවුන්ගෙන් කෙනෙකැ” යි කීවේ ය. එහෙත් පේතෘස්, “මා ඒ කෙනෙක් නො වෙයි මනුස්සයෝ!” යි කීවේ ය. ඉන් පැයකට පමණ පසු තවත් කෙනෙක්, “සැබවින් ම මොහුත් ඔහු සමඟ සිටියා; මොකද මොහු ගලීලයෙකැ” යි තරයේ කියා සිටියේ ය. එහෙත් පේතෘස්, “මිනිහෝ, ඔබ මොනවා දොඩවනවාදැයි මා දන්නේ නැතැ” යි කීවේ ය. ඔහු එසේ කියද්දී ම, එකෙණෙහි ම කුකුළා හැඬලී ය. එවිට ස්වාමින්වහන්සේ හැරී, එක එල්ලේ පේතෘස් දෙස බැලූ සේක. එකල, “අද කුකුළා හඬලන්නට පෙර තුන් වරක් ඔබ මා නාඳුනමි” යි ස්වාමින්වහන්සේ තමාට කී වචන සිහි කළ පේතෘස්, එතැනින් බැහැර ව, පිටතට ගොස්, දැඩි සංවේගයෙන් හැඬී ය.