උන්වහන්සේ එසේ කියද්දී, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් නම් මිනිසා පෙරමුණ ගත් සමූහයක් එහි ආහ. යේසුස්වහන්සේ සිපගන්නා පිණිස ඔහු උන්වහන්සේට ළං වූයේ ය. එහෙත් යේසුස්වහන්සේ ඔහු අමතමින්, “යූදස්, නුඹ මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන්නේ සිඹීමෙන් දැ?” යි ඇසූ සේක.
සිදු වන්නට යන්නේ කුමක් දැයි දුටු උන්වහන්සේ වටා සිටි අය, “ස්වාමිනි, අපි කඩුවෙන් පහර දෙන්න දැ?” යි ඇසූහ. එවිට ඔවුන්ගෙන් කෙනෙක්, උත්තම පූජකයාගේ දාසයාගේ දකුණු කන කැපෙන්නට ගැසී ය.
එවිට, “තවත් එපා!” යි කී යේසුස්වහන්සේ ඔහුගේ කන ස්පර්ශ කර, එය සුව කළ සේක.
තමන්ට එරෙහිව පැමිණි නායක පූජකයින්, දේව මාලිග නිලධාරීන් හා වැඩිහිටියන් ඇමතූ යේසුස්වහන්සේ, “මංකොල්ලකරුවකුට එරෙහිව මෙන් නුඹලා කඩු මුගුරු අරන් ආවා ද? මා දිනපතා දේව මාලිගයේ නුඹලා සමඟ සිටියදී, නුඹලා මා පිට අත් හෙළුවේ නෑ. ඒත්, මේ නුඹලාගේ පැයයි. අන්ධකාරයේ බලයයි” කී සේක.
ඔවුහු උන්වහන්සේ අල්ලා, පිටතට ගෙන යමින්, උත්තම පූජක මැදුර වෙත උන්වහන්සේ ගෙන ගියහ. පේතෘස් මදක් දුරින් ඒ පසුපසින් ගියේ ය. ඔවුහු පූජක මැදුරු මළුව මැද ගිනි මැලයක් දල්වා, ඒ වටා එක් ව හිඳ සිටියදී, පේතෘස් ද ඔවුන් අතර හිඳ ගත්තේ ය. ඔහු එහි හිඳ සිටිනු ගිනි එළියට දුටු එක් සේවිකාවක් ඔහු දෙස ළං වී බලා, “මේ මිනිහත් ඔහු සමඟ සිටියා” යි කීවා ය.
එහෙත් ඒ කීම ප්‍රතික්ෂේප කළ පේතෘස්, “ස්ත්‍රිය, මම ඔහු අඳුනන්නේ නැහැ” යි කීවේ ය.
මද වේලාවකට පසු තවත් කෙනෙක් ඔහු දැක, “නුඹත් ඔවුන්ගෙන් කෙනෙකැ” යි කීවේ ය.
එහෙත් පේතෘස්, “මා ඒ කෙනෙක් නො වෙයි මනුස්සයෝ!” යි කීවේ ය.
ඉන් පැයකට පමණ පසු තවත් කෙනෙක්, “සැබවින් ම මොහුත් ඔහු සමඟ සිටියා; මොකද මොහු ගලීලයෙකැ” යි තරයේ කියා සිටියේ ය.
එහෙත් පේතෘස්, “මිනිහෝ, ඔබ මොනවා දොඩවනවාදැයි මා දන්නේ නැතැ” යි කීවේ ය. ඔහු එසේ කියද්දී ම, එකෙණෙහි ම කුකුළා හැඬලී ය. එවිට ස්වාමින්වහන්සේ හැරී, එක එල්ලේ පේතෘස් දෙස බැලූ සේක. එකල, “අද කුකුළා හඬලන්නට පෙර තුන් වරක් ඔබ මා නාඳුනමි” යි ස්වාමින්වහන්සේ තමාට කී වචන සිහි කළ පේතෘස්, එතැනින් බැහැර ව, පිටතට ගොස්, දැඩි සංවේගයෙන් හැඬී ය.
මේ අතර යේසුස්වහන්සේ අත්අඩංගුවේ රඳවාගෙන සිටි මිනිස්සු උන්වහන්සේට පහර දෙමින්, අවමන් කරන්නට වන්හ. ඔවුහු උන්වහන්සේගේ ඇස් බැඳ, “නුඹට පහර දෙන්නේ කවුරු ද? හා, දිවැසින් කියාපන්” යැයි කීහ. මෙසේ ඔවුහු තවත් නොයෙක් දෑ කියමින් උන්වහන්සේට අපහාස කළහ.
දවස උදා වූ කල ජනතා වැඩිහිටි සභාව, නායක පූජකවරු හා දහම් පඬිවරු එකට රැස් වූහ. ඔවුන්ගේ මන්ත්‍රණ සභාව ඉදිරියට යේසුස්වහන්සේ පමුණු වන ලදින්, ඔවුහු කතා කරමින්, “ඔබ ක්‍රිස්තුස්වහන්සේ නම්, අපට කියන්නැ” යි කීහ.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබට කීවත් ඔබ විශ්වාස කරන්නේ නෑ. මා ඔබෙන් ඇසුවත් ඔබ උත්තර දෙන්නේ නෑ. එහෙත් මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයාණන් දෙවියන්වහන්සේගේ පරාක්‍රමයේ දකුණු පස අසුන් ගෙන හිඳිනවා ඇතැ” යි පැවසූ සේක.
“එසේ නම් ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් දැ?” යි එවිට ඔවුහු සියල්ලෝ ඇසුවෝ ය.
“ඒ මම ය කියා ඔබ කියනවා යැ” යි උන්වහන්සේ කී සේක.
එවිට ඔවුහු, “තවත් සාක්ෂි අපට කුමට ද? ඔහුගේ ම කටින් අපි එය ඇසීමු” යි පැවසූහ.