උන්වහන්සේ පිටතට අවුත්, පුරුදු පරිදි ඔලීව කන්දට ගිය සේක. ගෝලයෝ උන්වහන්සේ අනුව ගියහ. එතැනට පැමිණි උන්වහන්සේ, ගෝලයින් අමතා, “පරීක්ෂාවට නො වැටෙන පිණිස යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක. ගලක් වීසි කළ හැකි දුරක් ඔවුන් වෙතින් ඈත් වූ උන්වහන්සේ දණ ගසා යාච්ඤා කරමින්, “පියාණෙනි, ඔබවහන්සේ කැමති සේක් නම්, මේ කුසලාන මගෙන් ඉවත් කළ මැනව; එහෙත් මගේ කැමැත්ත නො ව, ඔබගේ කැමැත්ත කරනු ලැබේවා!” යි පැවසූ සේක. එවිට දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී උන්වහන්සේ ශක්තිමත් කළේ ය. සිත් සන්තාපයෙන් යුතු ව උන්වහන්සේ වඩාත් ලැදියාවෙන් යාච්ඤා කළ සේක්, උන්වහන්සේගේ ඩාදිය මහත් ලේ බිඳු මෙන් බිම ඇද හැලිණි.
යාච්ඤාවෙන් නැගිට, ගෝලයින් වෙත පැමිණි උන්වහන්සේ ඔවුන් ශෝකයෙන් බර ව නිදා සිටිනු දුටු සේක. ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ නිදා සිටින්නේ ඇයි? පරීක්ෂාවට නො වැටෙන පිණිස, නැගිට, යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක.
උන්වහන්සේ එසේ කියද්දී, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් නම් මිනිසා පෙරමුණ ගත් සමූහයක් එහි ආහ. යේසුස්වහන්සේ සිපගන්නා පිණිස ඔහු උන්වහන්සේට ළං වූයේ ය. එහෙත් යේසුස්වහන්සේ ඔහු අමතමින්, “යූදස්, නුඹ මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන්නේ සිඹීමෙන් දැ?” යි ඇසූ සේක.
සිදු වන්නට යන්නේ කුමක් දැයි දුටු උන්වහන්සේ වටා සිටි අය, “ස්වාමිනි, අපි කඩුවෙන් පහර දෙන්න දැ?” යි ඇසූහ. එවිට ඔවුන්ගෙන් කෙනෙක්, උත්තම පූජකයාගේ දාසයාගේ දකුණු කන කැපෙන්නට ගැසී ය.
එවිට, “තවත් එපා!” යි කී යේසුස්වහන්සේ ඔහුගේ කන ස්පර්ශ කර, එය සුව කළ සේක.
තමන්ට එරෙහිව පැමිණි නායක පූජකයින්, දේව මාලිග නිලධාරීන් හා වැඩිහිටියන් ඇමතූ යේසුස්වහන්සේ, “මංකොල්ලකරුවකුට එරෙහිව මෙන් නුඹලා කඩු මුගුරු අරන් ආවා ද? මා දිනපතා දේව මාලිගයේ නුඹලා සමඟ සිටියදී, නුඹලා මා පිට අත් හෙළුවේ නෑ. ඒත්, මේ නුඹලාගේ පැයයි. අන්ධකාරයේ බලයයි” කී සේක.
ඔවුහු උන්වහන්සේ අල්ලා, පිටතට ගෙන යමින්, උත්තම පූජක මැදුර වෙත උන්වහන්සේ ගෙන ගියහ. පේතෘස් මදක් දුරින් ඒ පසුපසින් ගියේ ය. ඔවුහු පූජක මැදුරු මළුව මැද ගිනි මැලයක් දල්වා, ඒ වටා එක් ව හිඳ සිටියදී, පේතෘස් ද ඔවුන් අතර හිඳ ගත්තේ ය. ඔහු එහි හිඳ සිටිනු ගිනි එළියට දුටු එක් සේවිකාවක් ඔහු දෙස ළං වී බලා, “මේ මිනිහත් ඔහු සමඟ සිටියා” යි කීවා ය.
එහෙත් ඒ කීම ප්‍රතික්ෂේප කළ පේතෘස්, “ස්ත්‍රිය, මම ඔහු අඳුනන්නේ නැහැ” යි කීවේ ය.
මද වේලාවකට පසු තවත් කෙනෙක් ඔහු දැක, “නුඹත් ඔවුන්ගෙන් කෙනෙකැ” යි කීවේ ය.
එහෙත් පේතෘස්, “මා ඒ කෙනෙක් නො වෙයි මනුස්සයෝ!” යි කීවේ ය.
ඉන් පැයකට පමණ පසු තවත් කෙනෙක්, “සැබවින් ම මොහුත් ඔහු සමඟ සිටියා; මොකද මොහු ගලීලයෙකැ” යි තරයේ කියා සිටියේ ය.
එහෙත් පේතෘස්, “මිනිහෝ, ඔබ මොනවා දොඩවනවාදැයි මා දන්නේ නැතැ” යි කීවේ ය. ඔහු එසේ කියද්දී ම, එකෙණෙහි ම කුකුළා හැඬලී ය. එවිට ස්වාමින්වහන්සේ හැරී, එක එල්ලේ පේතෘස් දෙස බැලූ සේක. එකල, “අද කුකුළා හඬලන්නට පෙර තුන් වරක් ඔබ මා නාඳුනමි” යි ස්වාමින්වහන්සේ තමාට කී වචන සිහි කළ පේතෘස්, එතැනින් බැහැර ව, පිටතට ගොස්, දැඩි සංවේගයෙන් හැඬී ය.