ලූක් 22:33-49

ලූක් 22:33-49 SCV

පේතෘස් කතා කරමින්, “ස්වාමිනි ඔබ සමඟ හිරේ යන්නටත්, මැරෙන්න යන්නටත් මා සූදානම්” යැයි උන්වහන්සේට කීවේ ය. යේසුස්වහන්සේ කතා කරමින්, “පේතෘස්, මා ඔබට කියන්නම්, ඔබ මා හඳුනන්නේ නැතැයි තුන් වතාවක් ම කියන තුරු අද දවසේ කුකුළා හඬලන්නේ නැතැ” යි පැවසූ සේක. උන්වහන්සේ කතා කරමින්, “මුදල් පසුම්බියක්වත්, ගමන් මල්ලක්වත්, පාවහන්වත් නැතිව මා ඔබ පිටත් කර යැවූ විට, ඔබට කිසි හිඟයක් වී දැ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නැතැ” යි ඔවුහු කීහ. උන්වහන්සේ කතා කරමින්, “එහෙත් දැන්, ඔබට පසුම්බියක් ඇත්නම් එය ගන්න. මල්ලක් ඇත්නම් එය ද ගන්න. ඔබට කඩුවක් නැති නම්, ඔබේ සළුව විකුණා ඉන් කඩුවක් මිල දී ගන්න. මන්ද මා ඔබට කියන්නේ, ‘උන්වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබූ සේක’ කියා ලියා තිබෙන ශුද්ධ ලියවිල්ල මා සම්බන්ධ ව ඉටු විය යුතු බවයි. මන්ද මා ගැන ලියවී ඇති දෑ සම්පූර්ණ වේ යැ” යි පැවසූ සේක. “ස්වාමිනි මේ බලන්න; කඩු දෙකක් ම මෙහි තියෙනවා” යි ඔවුහු කීහ. “ඒ සෑහේ යැ” යි උන්වහන්සේ ඔවුන්ට පැවසූ සේක. උන්වහන්සේ පිටතට අවුත්, පුරුදු පරිදි ඔලීව කන්දට ගිය සේක. ගෝලයෝ උන්වහන්සේ අනුව ගියහ. එතැනට පැමිණි උන්වහන්සේ, ගෝලයින් අමතා, “පරීක්ෂාවට නො වැටෙන පිණිස යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක. ගලක් වීසි කළ හැකි දුරක් ඔවුන් වෙතින් ඈත් වූ උන්වහන්සේ දණ ගසා යාච්ඤා කරමින්, “පියාණෙනි, ඔබවහන්සේ කැමති සේක් නම්, මේ කුසලාන මගෙන් ඉවත් කළ මැනව; එහෙත් මගේ කැමැත්ත නො ව, ඔබගේ කැමැත්ත කරනු ලැබේවා!” යි පැවසූ සේක. එවිට දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී උන්වහන්සේ ශක්තිමත් කළේ ය. සිත් සන්තාපයෙන් යුතු ව උන්වහන්සේ වඩාත් ලැදියාවෙන් යාච්ඤා කළ සේක්, උන්වහන්සේගේ ඩාදිය මහත් ලේ බිඳු මෙන් බිම ඇද හැලිණි. යාච්ඤාවෙන් නැගිට, ගෝලයින් වෙත පැමිණි උන්වහන්සේ ඔවුන් ශෝකයෙන් බර ව නිදා සිටිනු දුටු සේක. ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ නිදා සිටින්නේ ඇයි? පරීක්ෂාවට නො වැටෙන පිණිස, නැගිට, යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක. උන්වහන්සේ එසේ කියද්දී, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් නම් මිනිසා පෙරමුණ ගත් සමූහයක් එහි ආහ. යේසුස්වහන්සේ සිපගන්නා පිණිස ඔහු උන්වහන්සේට ළං වූයේ ය. එහෙත් යේසුස්වහන්සේ ඔහු අමතමින්, “යූදස්, නුඹ මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන්නේ සිඹීමෙන් දැ?” යි ඇසූ සේක. සිදු වන්නට යන්නේ කුමක් දැයි දුටු උන්වහන්සේ වටා සිටි අය, “ස්වාමිනි, අපි කඩුවෙන් පහර දෙන්න දැ?” යි ඇසූහ.